Nothern Melbourne Sri Lankan Association


භික්ෂුව අද උදෑසන පිණ්ඩපාතයේ වැඩම කිරීමට කැලයෙන් මහපාරට අවතීරණය වෙද්දී, පාරේ අයිනේ තිබෙන ගස් සෙවණේ, තැන් තැන්වල බත් ඔතාගෙන පැමිණි පත්තර කොල, තැඹිලි කෝම්බ, වරකා ගෙඩියක් අනුභවකොට ඉතිරි අපද්‍රව්‍ය තැන් තැන්වල දමලා. පාසල් නිවාඩුව නිසා වන්දනාවේ යන, විනෝද ගමන් යන වාහන මේ දිනවල පාරේ හුඟාක් වැඩියි. එම පින්වතුන්ලා කෑම කන්න කැලය අයිනේ වාහනය නවත්වලා, ආහාරයෙන් කුස පුරවාගෙන අකුසල් වලින් ජීවිතයත් පුරවාගෙනයි යන්නේ. පින්වත් ඔබ දැන දැන ලස්සන පරිසරය අපවිත්‍ර කරන්න එපා. ඔබේ ඊළඟ පටිච්චසමුප්පන්න ජීවිතය අපිළිවෙලින් පිරි ජීවිතයක් වේවි. ලස්සනට ඉන්න, ලස්සනට ඇඳුම් පැළඳුම් ආභරණ පළඳින්න, ලස්සන ගෙයක් දොරක් හදාගන්න සිත නොදෙන අවාසනාවන්තයෙක් වේවි. වරක් තරුණ කාන්තාවක් භික්ෂුවට කියනවා, ස්වාමීන් වහන්ස, මම කසාද බැන්ඳෙ මනුෂ්‍යයෙක් නොවේ, පෙරේතයෙක්ය කියලා. මේ මනුෂ්‍යයා නාන්නේ නැහැ, ඇඳුම් හෝදන්නේ නැහැ, කිසිම පිළිවෙලකට නැති මනුෂ්‍යයෙක්ය කියලා. රාත්‍රියට කුණු කෙළ පෙරාගෙන නිදා සිටින හැටි දැක්කම, මට සංසාරෙම එපා වෙනවා කියලා. භික්ෂුව සෑම දිනකම, දිනකට දෙවරක් කුටියේ වැලි මළුව සහ අවට අමදිනවා. වැලි මළුවේ කොල වැටිලා තිබෙනවා නම්, භික්ෂුවට එය දැනෙන්නේ, භික්ෂුවගේ සිත මත ඇලීම් සහ ගැටීම් ඇතිවෙලා තිබෙනවා වගේම, පිළිකුල් බවක්. පින්වත් ඔබ, ඔබ අවට පරිසරය හෝ අනුන් අවට පරිසරය අවලස්සන කරන්න එපා. පරිසරය අවලස්සන කරද්දි, දෙවියෝ කෝප වෙනවා. භික්ෂුව කුටිය අවට ලස්සනට, පිළිවෙලට තබාගන්නේ දෙවියෝ සතුටු කරන්න. මේ මොහොතේත් භික්ෂුව තුළ, කුටියේ වැලි මළුව සහ අවට පරිසරයේ පිරිසිදු බව දැකලා දෙවියෝ සතුටු වේවා, සියලුම මනුෂ්‍යයෝ, සියලුම සත්ත්වයෝ සතුටු වේවා යැයි කියලා, මෙත් සිතක්මයි ඇතිවෙන්නේ. ඒ මෙත් සිත තුළ ආනිශංස එකොළහක් භික්ෂුවට ලැබෙනවා. පන්සලේ, ආරණ්‍යයේ, කුටියේ, පින්වත් ඔබේ ගෙමිදුලේ පරිසරය ලස්සනට තබාගෙන ආනිශංස එකොළහක් ජීවිතයට ලබා ගන්න මාර්ගය කියන එකම ශාසනය, මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයමයි. පරිසරය පිරිසිදුව තබා ගනිද්දි ඔබේ ආයුෂ, වර්ණය, සැපය වැඩෙනවා. ඔබේ කුසල් ශක්තිය වැඩිවෙනවා, දෙවියන් සතුටු වෙනවා, සුගතියේ ඉපදෙනවා යැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ ලෝක ධාතුවේ සැපය කියන්නේ හරිම දුර්ලභ දෙයක්. සැපය දුර්ලභ නිසාම, අපි සැප විඳිනකොට, සැපය දුර්ලභ ධර්මතාවයක්ය කියලා අපිට සිතෙන්නේම නැහැ. සැපය භුක්ති විඳිද්දි අපි ළඟ සිටින්නේ කාමයේ සහ රූපයේ ආශ්වාදය පමණක්මයි. පින්වත් ඔබ ආහාරයට අදාළව ඔබ තුළ සකස්වෙන සැපය ගැන මොහොතක් හිතන්නකෝ. ප්‍රණීත ආහාරයන්ගෙන් පිරිච්ච තරු පංතියේ හෝටලයක කෑම මේසය, ප්‍රණීත ආහාරයන්ගෙන් පිරී ගිය ඔබේ නිවසේ කෑම මේසය, ඒ විතරක් නෙමේ වර්තමානයේ මහා සංඝරත්නය වෙනුවෙන් පැවැත්වෙන ප්‍රණීත, විසිතුරු දානේ ගෙවල්. ප්‍රණීතභාවය කියන්නේ සුන්දර හේතුඵල ධර්මයක්. ප්‍රණීතව පිරී ඉතිරී යන්න දන් ලබන සංඝ සමාජයේ අග්‍ර උත්තමයා, සීවලී මහෝත්තමයන් වහන්සේයි. උතුම් පැවිදි උපසම්පදාවන් සාක්‍ෂාත් කොටගෙන, උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයක් අවබෝධ කළත්, ලෝසක මහ රහතන් වහන්සේට පිරිනිවන්පාන දිනය දක්වාම කුසට දැනෙන්නට ආහාරයක් ලැබුණේ නැහැ. මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ ප්‍රණීතව දන් පූජා කරන්නන් අතර අග්‍රස්ථානය ලැබූ ගිහි උපාසක මහතා වූයේ, මහානාම ශාක්‍ය කුමරයායි. මේ සියල්ල තුළ අර්ථවත්ව තිබුණේ, අතීත සංස්කාරයන්ගේ ඵලයන්මයි. නමුත් මේ සෑම සංස්කාරයක්ම අනිත්‍ය වී ගියා. අනිත්‍ය වී යන සංස්කාරයන්, කෑම මේසයේදී නිත්‍ය වශයෙන් ආශ්වාදයෙන් ගන්න අපි මේ හරිබරි ගැහී, පෙරේත කමින් ගමන් කරන්නේ, ප්‍රණීතභාවය අතුරුදන්වෙන අනාගත පංච උපාදානස්කන්ධ ලෝකයක් කරා යැයි කියලා පින්වත් ඔබ සිහිනයකින් වත් සිතලා නැහැය කියලා භික්ෂුවට හොඳටම විශ්වාසයි. මේ මනුෂ්‍ය සමාජයෙන් අනාගතයේ යම් දවසක ප්‍රණීත ආහාරයන් අතුරුදහන් වෙලා යනවාය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ ප්‍රණීත ආහාරයන් ලෝකයෙන් අතුරුදන් කරන්නේ දෙවියෙක්, බ්‍රහ්මයෙක්, මාරයෙක් නොවේ. ප්‍රණීත ආහාරයන් ලෝකයෙන් අතුරුදන් කරන්නේ ලෝකයේ ඕනෑම රටක ජීවත්වෙන, ජනතාවගේ භාණ්ඩාගාරය සොරකම් කරන ජනතාවගේ දේපළ සොරකම් කරන, ජනතාවගේ බදු මුදල් සමසේ ජනතාවට බෙදා නොදෙන, අවිනයවාදී දේශපාලනඥයන් කියලයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. භික්ෂුවගේ ඉහත සටහන දැකලා ගෞරවනීය දේශපාලන පින්වතුන් කලබල වෙන්න එපා. පින්වත් ඔබලා නිවැරැදි වෙන්න. පංච උපාදානස්කන්ධය තෘෂ්ණාවේ ඉන්ධන ශක්තියෙන් යන, නොනිමි ගමන කොහොමත් ඉදිරියටම යනවා. එහෙත් පින්වත් ඔබ ඒ අනාගත විනාශයේ වගඋත්තරකරුවෙක් නම් වෙන්න එපා. අපේ පුණ්‍යවන්ත රටේත් ඉදිරියේදී තීරණාත්මක මැතිවරණයක් එනවා. එම තීරණාත්මක මැතිවරණයට තරඟ කරන සෑම පින්වත් අපේක්‍ෂක මහත්මයෙක්ම ධර්මානුකූලව දැනගන්න ඕනේ තමන්ගේ ඵස්සය නමැති උල්පතින් රූපයන් කෙරෙහි තෘෂ්ණාවෙන් ඇලීම් සහ ගැටීම් දෝරේ ගලාගෙන ගියොත් පින්වත් ඔබත් ප්‍රණීත ආහාරයන් ලෝකයෙන් අතුරුදන් කොට දැමීමේ වගඋත්තරකරුවෙක් බවට ඔබ පත්වෙනවාය කියන කාරණය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, දේශපාලනඥයෝ ජනතාවගේ භාණ්ඩාගාරය සොරකම් කළොත්, බදු මුදල් ජනතාව අතර සමසේ බෙදා නොදුන්නොත් රටවැසි ජනතාවගේ දිළිඳු බව, දුප්පත් බව වැඩිවෙනවාය කියලා. ජනතාවගේ දුප්පත්කම වැඩිවීමෙන් රටේ සොරකම වැඩීමට යන්නේය කියලා. ජනතාව අතර සොරකම වැඩීමට යන්නේය කියලා. ජනතාව අතර ආයුධ පරිහණය වැඩිවීමෙන්, රටේ ප්‍රාණඝාතය වැඩීමට යන්නේය කියලා. රටේ ප්‍රාණඝාතය වැඩීමට ගිය කල්හි, රටේ ජනතාව තුළ බොරුකීම සහ කේලාම්කීම වැඩීමට යන්නේය කියලා. රටේ ජනතාව තුළ බොරුකීම, කේලාම්කීම වැඩීමට ගිය කල්හි රටේ ජනතාව තුළ කාමයේ වරදවා හැසිරීම වැඩී යන්නේය කියලා. රටේ ජනතාව තුළ කාමයේ වරදවා හැසිරීම වැඩීමට ගිය කල්හි, ජනතාව තුළ පරුෂ වචන සහ සම්පප්‍රලාපයන් වැඩීමට යන්නේය කියලා. රටේ ජනතාව තුළ පරුෂ වචන වැඩීමට ගිය කල්හි, ජනතාව තුළ ලෝභකමත්, ව්‍යාපාදයත් වැඩී යනවාය කියලා. රටේ ජනතාව තුළ ලෝභකමත්, ව්‍යාපාදයත් වැඩීමට ගිය කල්හි, රටේ ජනතාව තුළ මිථ්‍යා දෘෂ්ටිය වැඩීමට පත්වෙනවාය කියලා. රටේ ජනතාව තුළ මිථ්‍යා දෘෂ්ටිය වැඩීමට ගිය කල්හි, අධර්මරාග, විෂම ලෝභ, මිථ්‍යා ධර්ම වැඩීමට පත්වෙනවා කියලා. අධර්මරාග, විෂම ලෝභ සහ මිථ්‍යා ධර්ම ජනතාව තුළ වැඩීමට ගිය කල්හි, මවට සහ පියාට ගරු නොකිරීම, මහණ බමුණන්ට ගරු නොකිරීම, කුලයේ වැඩිහිටියන්ට ගරු නොකිරීම කියන පාප ධර්මයෝ මනුෂ්‍ය ජීවිත වෙළාගන්නවාය කියලා. එවිට සත්ත්වයාගේ ආයුෂය, වර්ණය, සැපය පිරිහී යනවා. ආයුෂ, වර්ණය, සැපය පිහිහෙන මනුෂ්‍යයාගේ පරමායුෂ එවිට අවුරුදු දහයක් (10) වෙනවාය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මනුෂ්‍යයාට අවුරුදු දහයක් පරමායුෂ සහිත කාලයේදී, මනුෂ්‍යයාගෙන් සියලුම ශීලාචාර ධර්මයන් ගිලිහිලා තිරිසන් සතුන් මෙන් මනුෂ්‍යයා කාමයේ හැසිරෙනවා. අම්මා, තාත්තා, නංගි, අක්කා සමග ලිංගිකව හැසිරෙනවා. ගැහැනු දරුවෙක් වයස අවුරුදු පහේදී දරුවන් බිහිකොට අම්මලා වෙනවා. එම කාලයේදී ප්‍රණීත ආහාරයන් වන එළඟිතෙල්, බටර්, කිරි, තලතෙල්, මීපැණි, හකුරු සහ ලුණු ලෝකයෙන් අතුරුදන්වෙලා යනවාය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. වර්තමානයේ සූදුරු සම්බා, බාස්මතී බත් පිංවතුන්ට යම් සේ අග්‍රවේද, එදාට කුරක්කන්වලටත් වඩා නීරස අප්‍රණීත ධාන්‍ය වර්ගයක් ප්‍රණීතම ආහාරය වෙනවාය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මනුෂ්‍යයාගේ පරමායුෂ අවුරුදු දහයට පහත වැටෙන කාලයේදී දශකුසල් ධර්මයන් මනුෂ්‍ය සමාජයෙන් අතුරුදන්වී, දශ අකුසල් ධර්මයන් දීප්තිමත්ව බබළන බව බුදුරජාණන් වහන්සේ පින්වත් ඔබ කෙරෙහි මහා කරුණාවෙන් දේශනා කොට තිබෙනවා. භික්ෂුව ඉහතින් සටහන් තැබූ ධර්ම කාරණා වලින් පින්වත් ඔබට දැන් වැටහෙනවා ද ලෝකයේ රටවල්වල රාජ්‍යයන් පාලනය කරන අපේ රටත් ඇතුළුව, දේශපාලන ක්‍රියාකාරීන්ගේ රාජ්‍ය භාණ්ඩාගාරයන් සොරකම් කිරීම්, රාජ්‍ය දේපළ අපරිහණය, ජනතාවට සාධාරණව ප්‍රතිලාභයන් බෙදා නොදීම කියන අවිනයවාදී දේශපාලන සංස්කෘතීන් අනාගත ලෝකයේ ජනතාවගේ පරමායුෂ හීනකොට, ප්‍රණීත ආහාරයන් අතුරුදන් කොට, සමස්ත සත්ත්ව ප්‍රජාවටම මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ පරිහානියටම සිදුකරන විනාශය සුළුපටු නොවෙනවාය කියන කාරණය. ධර්ම දානය පිණිස හැකිතාක් Share කරන්න... තෙරුවන් සරණයි සියළුම ලිපි සඳහා පිවිසෙන්න: www.maharahathunwadimagaosse.org Outlook for Android