Nothern Melbourne Sri Lankan Association


දස පින් සනීපය ආරක්ෂා කැරැ ගැන්මෙන් ඇඟ හොඳට වැඩෙයි. ඇඟේ හයි හත්තිය ඇති වෙයි. වැඩි කලක් සැප සේ ජීවත්විය හැකි වෙයි. එසේ ම හිතේ සනීප ගතිය රැක ගැන්මෙන් හිතේ සක්තිය, හිතේ හයිය වැඩි වෙයි, හිත දියුණු වෙයි. හොඳ ගුණයට පැහැදීම, නරක ගතියෙක් තමා තුළ ඇති නො වන්නට පරිස්සම් වන ගතිය, නරක කැත ගතිවලට නො කැමති කම (හෙවත් පිළිකුල), ලෝභ නැති කම, තරහ නො වෙන ගතිය, ඇත්ත ඇති හැටියට දකින ගතිය යන ආදි ගති ලෙඩ නැති හිතේ ලකුණු ය. මේ හොඳ ගති හිතේ පුරුදු වීමෙන් සිත තුළ වැඩී යෑමෙන් හොඳ දෑ කිරීමට හිත නැමේ. මෙ සේ හොඳ හිතෙන් කරන ඒ හොඳ දෑවලට පින් ය කියා නෙමෙකි. ‘පින්’ යන වචනයේ මුල් තේරුම නම් “එය කරන්නහු ගේ හිත සුද්ද කරන දැ ය” යනුයි. හිතේ හොඳ ගති දියුණු වීමෙන් කරන හොඳ ක්‍රියා දහවගෙකි. ඒවාට දස පින් යැයි කියත්.
1. ඉන් පළමු වැන්න දීම යි.
අපට වැඩියෙන් හොඳ වු අය සිටිති. අපට වඩා හික්මීම ඇති, අපට වඩා කරුණාවන්ත, ලොව හැම දෙනා ම ගැන තමාට මෙන් ම ආදරය පවත්තන, අනුන් ගැහුවත් බැන්නත් තරහ නැති ව ම ඒ සියල්ල ඉවසන, මේ ආදි වශයෙන් හොඳ ගතිවලින් අපට වඩා දියුණු වුණු අය සිටිති. එබඳු හොඳ ගුණ, උසස් උතුම් දෑ හැටියට සලකන අප තුළ, එබඳු ගති ගුණ අපට වඩා දියුණු වී ඇති අය ගැන ද සැලකිල්ලත් ආදරයක් ඇති වේ. එබඳු අයට සැලකිලි දක්වන්නට, වඳින්නට පුදන්නට, අපේ හිත නැමෙයි. එහෙම ඇත්තනට එතුමන් පුරන ඒ ගුණ දහම් දියුණු කිරීමට උදව් දීමක් වශයෙන් සලකන්නට ද අපේ සිත නැමේ. අප සතු දෑ කෙරෙහි අප තුළ ඇති ඇල්ම පවා අත්හැරලා ඒ වා වියදම් කැරැ ඒ උතුමනට හොඳින් සලකන්නට අපට සිතෙයි. එබඳු උතුමනට කෑම පීම ආදිය දීමෙන් සැලැකිලි දැක්වීම එක් දීමෙකි. අපට වඩා දුප්පත් අසරණ අය පෙනුණා ම අපේ හිතේ ඔවුන් විඳින දුක ගැන කනගාටු ගතියෙක්, කරුණාවෙක්, අනුකම්පාවෙක්, පපුව උණු වීමෙක් ඇති වේ. අප කොතරම් ආශාවකින් රැකගෙන තිබෙන දෑ වූවද ඔවුන් හට දී ඔවුන් සනසන්නට සිත් වෙයි. ඒ කරුණාව උඩ අසරණ අයට සංග්‍රහ කිරීමත් එක් දීමෙකි. මෙසේ ගෞරවයෙන් දෙන දීමත්, කරුණාවෙන් දෙන දීමත් යන දෙක ම දාන (දීම) නමැති පින්කමයි.
2. දෙවෙනි පින්කම සිල් රැක්ම යි.
සිල් නම් හීලෑ ගුණය යි. සතුන් මැරුම්, අන්සතු දෑ අයුතු අන්දමින් ගැනුම්, නරක ආශාවෙන් නො හොබනාකම් කැරැම්, මත්පැන් බීම, බොරු කීම්, කේලාම් කීම්, නපුරු වචන කීම්, වැද ගැම්මකට නැති දෑ දෙඩීම්, අයුතු දෑ කිරීමෙන් ජීවිකාව කිරීම් යන මේවාහැඩි නො හීලෑ (දුස්සීල) කම් ය. ඒ නො හීලෑ කම්වලින් වැළැකී හෙවත් ඒවා අත්හැර හීලෑගතිය, ඛ්ඹ්ක්මුම්කම ඇති කැරැ ගත යුතු යි. මෙ සේ හික්මුම සීල (සිල්) නම්, මෙය ද හිතේ හොඳ ගති නිසා ම ඇති වන එකෙකි.
3. තෙ වෙනි පින් කම භාවනාව යි.
අපේ හිත ඒ මේ අතට දුවන්නට වුණා ම නොයෙක් නරක ගති හිතේ ම ඇති වන්නට ඉඩ තිබේ. ප්‍රිය නැති කෙනෙකු දුටුවා ම තරහ ඇති වේ. යමක් ලබා ගැන්මේ ආශාව නිසා හිත තුළ නොසන්සුන්කමද ඇති වේ. මෙසේ නොයෙක් අතට හිත යෑමෙන් හිතේ කලබල ගති හැදේ. ඒවායින් හිත වෙන් කැර ගෙන යම් කිසි හොඳ ගතියකට ම හිත නමා ගෙන, එහි ම හිත බැඳ තබන්නට පුරුදු වුණොත් නරක – ගතිවලට හිතේ ඉඩ නො ලැබේ. එබැවින් නරක අතට හිත නො නැමෙන්නටත්, හිතේ හොඳ ගුණ තහවුරු වෙන්නටත් අප විසින් පුරුදු කළ යුතු හොඳ වැඩෙක් තිබේ. එ නම් හොඳ අන්දමට හිත එකඟ කැරැ, හිත එක දැයකට ම නමා තබා ගෙන ඉඳීම යි – “මුළු ලෝකයේ හැම දෙනාට ම හොඳක් ම වෙච්චාවේ” කියා හිතින් කැමැති වෙමින්, ඔවුන් සැප සේ ඉන්ද යුතු අන්ද ම හිතෙන් දැක දැක එයට කැමැති කම දියුණු කරමින් අපට ඉන්නට පිළිවන. මේ ආදී යම් කිසි හැටියෙකින් හිතේ එකඟකම දියුණු කිරීමෙන් හිත වැඩෙයි. මෙ සේ හොඳ අතට හිතේ එකඟකම දියුණු කිරීම එක් භාවනාවෙකි. අපේ ඇඟ වෙනස් වන හැටි, දිරන හැටි, හිත වෙනස් වන හැටි, හිතත් හිතේ ගතිත් ඇඟත් දුක් වන සැටි, ඒවායේ නො නැසෙන හර ගතියක් නැති සැටි හිතින් බලමින් ඒ ගැන දැනීම දියුණු කළ යුතු. මෙසේ ඒ දැනුම වැඩීමෙන් ඒ කිසිවක් ගැන ආශාවක් ලෝබයක් ඇති නො වේ. ඒ කිසිවකට අනුන් ගෙන් කරදරයක් වුණාට තරහවකුත් ඇති නො වේ. ඒ වා නිසරු බව දැනෙන බැවිනි. මෙසේ ජීවිතයට ඇති සැටි දන්නා නුවණ වැඩීම ද එක් භාවනාවෙකි. මේ හිතේ එකඟකම වැඩීම සමාධි භාවනා නමි, නුවණ වැඩීම විපස්සනා භාවනාව නමි. මෙය පුරුදු කිරීමෙන් හිතේ නරක ගති දුරු වේ. හොඳ ගති දියුණු වේ. නුවණ ද වැඩේ.
4. සිවුවන පින්කම නම් යටත් පහත් කම පෑම යි.
මා පියනට වැඩි හිටියනට ගුරුවරුනට ගුණවනයනට යටත් පහත් කම් දැක්වීම, ගරු බුහුමන් දැක්වීම, වැඳුම් පිදුම් යන මේ සියල්ල එයට ඇතුළති. මෙය පුරුදු කිරීමෙන් උඩගු කම් ආදී නරක ගති නැතිවී හිත ශුද්ධ වේ. පාලි භාෂාවෙන් මෙයට අපචායන යන නම බැවහර යි.
5. පස් වන පින්කම නම් මා පිය ආදීනට වතාවත් කිරීම යි.
ඔවුනට ලෙඩ දුකේ දී සාත්තු කිරීම, ඔවුනට කෑම් බීම් ආදිය පිළියෙල කරදීම, දර වතුර ගෙනවුත් දීම, අත් පා මිරිකීම, ගමන් බිමන්වල දී ඔවුන් හා යෑම් ආදියෙන් උපකාරී වීම යන ආදිය මෙයට ඇතුළත්ය. මෙය පුරුදු කරන්නා ද මෙයින් ලෝබ තරහ උඩගුකම් ආදි නරක ගති හිතින් දුරලයි. ඔහුගේ හිත හොඳ ගතිවලින් පිරෙයි. ශුද්ධ වෙයි. මෙයට පාලියෙන් වෙයියාවච්ච යන නම වැහැරැවේ.
6. හවන පින්කම නම් පින් දීම යි.
හොඳ දෑ කිරීමෙන් ගුණ නුවණ වැඩේ. කෙනෙකු කරන හොඳ දැයට සතුටු වීම ඒ හොඳ දෑ හිතින් පිළිගැනීමයි. අන් කෙනකු දන්දීම්, සිල් රැකීම් ආදි වශයෙන් හොඳ වැඩ කරනවා. දැක අප එයට සතුටු වෙනවා නම් එයින් අපේ සිතින් ඒ පින කළා නම් වේ. ඉතින් අපත් පිනක් කොට එයට අන් අය සතුටු කැරැවීමෙන් ඔවුන් තුළද හොඳ ගති ඇති වේ. එයින් අපට මෙන් ඔවුනට ද යහපතෙක් ම සැලැසේ. මෙසේ හෙයින් අප පිනක් කළා ම “මේ පින අන් සත්ත්වයනට ද සතුටට හේතු වේ වා. මේ පිනට සතුටු ව ඔහු ද සැප ලබත්වා’යි සිතින් සිතීම, වචනයෙනුත් කීම අනුන් හට උපකාර කිරීමෙකි. මෙ සේ කිරීමේදී මෙයට බලාපොරොත්තු වන සමහර දෙවිවරුද, අපේ අදහස්, අපේ වචන තේරුම් ගත හැකි අන් සත්ත්වයෝ ද අප කළ පිනට සතුටු වෙති. එයින් ඔහු තමන් තුළ ද හොඳ අදහස්, පින් සිත් ඇති කැර ගනිති. එයින් සැප ලබති. අපේ නැසී ගිය නෑදෑයන් ගෙන් යම් යම් අය එබඳු පින් ගන්නට හැකි පේ‍්‍රත ජන්මයෙක ඉපිද හිටියොත් අප පින්දීමේ දී ඒවා අනුමෝදන් කොට ගෙන හෙවත් ඒවාට සතුටුව කුසල් වඩා ගෙන සැපතට පැමිණෙති. එබැවින් අනුන් හට පින්දීම පින් අනුමෝදන් කැරැවීම හිතවත් කමින් කරන උපකාරයෙකි. උතුම් පිනෙකි. මෙයට පාලියෙන් පත්ති දාන යන නම වැහැරැවෙයි.
7. හත්වන පින නම් පින් ගැනීම යි.
උඩ කී පරිදි අප අනුනට පින් දෙන්නා සේ ම අන් අය අපට ද පින් දෙති. ඉතින් පින් කැමැති අප විසින් ඔවුන් හිතවත් කමින් අපට දෙන පින් සතුටින් ගත යුතු යි. හෙවත් ඔවුන් තමන් කළ පින් අපට අනුමෝදන් කරන විට අපත් ඒවා අප කළ දෑ සේ ම සිතා සතුටු විය යුතුයි. මේ අනුන් දෙන පින් ගැනීමට පාලි භාෂාවෙන් පත්තානුමෝදනා යැ යි කියනු ලැබේ.
8. අට වන පින්කම බණ කීම යි.
අනුන් නරක සිතුම් පැතුම්වලිනුත් නරක කියුම් කැරුම්වලිනුත් බේරා ගෙන හොඳ අතේ යවන අදහසින් උපදෙස් දීම, හොඳ දෑ කියා දීම බණ කීම නමි, ධර්ම දේශනා කියන්නේත් මෙයටම යි. අනුනට බණ කියන්නේ ඔවුනට හිතවත් බැවිනි. කරුණාවෙනි. එය කරන්නහු ගේ හිත එයින් වඩ වඩා පිරිසිදු වේ.
9. නව වන පින්කම නම් බණ ඇසීම යි.
අපට අපේ යහපත පිණිස හොඳ අය උපදෙස් දෙති. අපේ මවු, පියා, ගුරුවරු, සිල්වත් ගුණවත් හාමුදුරුවරු දැනුමැතිකම් දෙති. පින් පව් තෝරා කියා දෙති. ඒවා අසා තේරුම් ගැනීම අපේ යුතු කම යි. මෙ සේ බණ ඉගැන්මෙන් දැනීම ඇති වේ. එයින් හිත නරකින් ඉවත් ව හොඳ වේ. හෙවත් පිරිසිදු වේ. ධර්ම ශ්‍රවණය කියා බැවහැර වන්නේ බණ ඇසීමට යි.
10. දස වන පින්කම නම් නිවැරැදි දැකීම හෙවත් හරි නුවණ ඇති කැර ගැන්මයි.
සමහරු “සත්ත්වයා මෙයින් ම අවසන් වෙතැ”යි වරදවා සලකති. එය ඇදට දැකීමෙකි. තව කෙනෙක් “මෙහි අප තුළ වෙනස් නො වී එක ලෙස ම පවත්නා යම් කිසි හරයක්, ‘ආත්මය’ කියා එකක් ඇතැයි”යි ද “එය දිගින් දිගට අලුත් අලුත් ශරීරවලට එකතු වෙවී යතැ”යි ද වරදවා සිතති. මේ දෙක ම වක් වූ ඇද වූ දැකුම් ය. වැරැදි සැලැකුම් ය. බණ දහම් ඇසීමෙන් සත්පුරුෂයන් ආශ්‍රය කිරීමෙන් මේ වැරදි හැර දමත හැකි යි. සත්ත්වයා යනු එක් අන්දමකට ම තිබෙන වෙනස් නො වී සිටින කිසියම් දැයක් නො වේ යැ යි ද, නිතර වෙනස් වෙවී යන ස්වභාව වැලක් යැයි ද දැනීම නිවැරැදි යි. එය හරි දැක්මෙකි. තව ද හේතුවක් කාරණයක් නැති ව, ලොව යම් යම් දෑ ඉබේ ම ඇති වේ යැ යි සමහරු සලකති. තව කෙනෙක් සියල්ල දන්නා දක්නා සියලු බලැති කෙනකු ගේ කැමැත්ත අනුව ලොවෙත් සත්ත්වයන්ගේත් පැවැත්ම වේ යැයි සලකති. තවත් අයෙක් මේ අත්බැව්හි සිදුවන සියල්ල පෙර අත්බැව්හි කළ කර්ම නිසාම වේ යැ යි සලකති. මේ හැම දැකුම් සැලැකුම් වැරැදි ය, ඇද ය. හේතුවක් නැති ව කිසිවක් ඇති නො වේ. යමක් වීමට හේතුවක් තිබිය යුතු ය. සත්ත්වයා ගේ මෙහි සිදුවීම්වලින් ඇතැම් දෑ මෙ අත්බව්හි ම වු ඇතැම් කරුණින් වේ. ඇතැම් දෑ පෙර අත්බව්හි කළ කර්ම නිසා වේ. ඇතැම් දෑ මෙ අත් බව්හි කරන දෑ නිසාම සිදුවේ. ඇතැම් දෑ මෙ අත්බව්හි කරන දෑත් පෙර අත් බව්හි කළ කර්මත් යන දෙකෙන් ම සම්බන්ධයෙන් වේ. මේ හරි දැක්මයි, ඇද නැති දැක්ම යි. සෘජු දෘෂ්ටිය යි. සම්‍යක්දෘෂ්ටිය යනු ද මෙය යි. දස වන පින හැටියට දැක්වුණේ මේ සම්‍යක්දෘෂ්ටිය ඇති කැර ගැන්ම යි.