බුද්ධ ශ්‍රාවකයින්ගේ ප්‍රබේද හත
2020 පෙබරවාරි 9 වෙනි ඉරිදා රිප්ල්බ්රුක් හි පැවැත්වෙන ආරාම පුජාවෙහි අනුසස් පහත ලිපි වලින් හා වැගොඩපොළ විමලඥාන හිමියන්ගේ දේශනාවලින් දැනුවත් වෙන්න. විස්තර සඳහා පහත දැක්වෙන වෙබ් අඩවියට පිවිසෙන්න.
මෙම ආරාම පුජාවෙහි පණිවිඩය හැකි සෑම කෙනෙකුටම බෙදා හැරීමෙන් ඔබ මහා පින් කෙතක් රැස් කර ගනු ඇත.
Ripplebrook Temple website
ආවාස පූජාවේ අනුසස්
පොදු මානුසික අවශ්‍යතා අතර ඇඳුම් පැළඳුම්, කෑම-බීම, ගෙවල්-දොරවල් සහ සෞඛ්‍ය පහසුකම් මූලික වේ. රටක් පාලනය කරන රජයකින් ජනතාවට ඉටුවිය යුතු මූලික යුතුකම් වශයෙන් සැලකෙන මේ අවශ්‍යතා හතර, සසර දුක අවබොධ කරගෙන නිවන් දකින්න පැවිදි දිවියට ඇතුල්වෙච්ච භික්‌ෂුවටත් පොදුයි. ප්‍රත්‍යවේක්‌ෂා වශයෙන් සැලකෙන චීවර, පිණ්‌ඩපාත, සේනාසන, ගිලාන ප්‍රත්‍ය කියන මේ සිව්පසය ගිහි පරිභෝගයට වඩා පැවිදි පරිභෝගයේ විශාල වෙනසක් තිබේ. භිකෂුන් වහන්සේ ආරාම පරිභෝග කරන්නේ, රැස් කරන ධනයක් ආරක්‌ෂා කිරීමට හෝ සොර සතුරු උවදුරකින් වැලකීමට හෝ නොවේ. සීත පීඩා, උෂ්ණ පීඩා වළක්‌වා ගන්න, ලේ බොන මැස්‌සන්, මදුරුවන්ගෙන් ආරක්‌ෂා වෙන්න, සුළඟ, අව්ව, වැස්‌ස සර්පාදීන්ගෙන් එන පීඩාවන් දුරුකරගන්න, විවිධ සෘතු උපද්‍රවවලින් ආරක්‌ෂා වෙන්න සහ සිත එකඟ කර ගැනීමේ පහසුව පිණිසත් කියන මේ කාරණාවලට.
ඉහත සඳහන් පරමාර්ථයන්ටත් වඩා පුළුල්වූ පරමාර්ථයන් මත විහාරාරාම ගෙඩනැගුණු බව ඒ සඳහා වැය කරන ලද විශාල ධන පරිත්‍යාගයන්ගෙන් පැහැදිලි වේ. පනස් හතර කෝටියක් ධනය ඡේතවනාරාමය සඳහාත්, විසිහත් කෝටියක් ධනය පූර්වාරාමය සඳහාත් වැය කර තියෙන බව පොතපතේ සඳහන් වේ. ලංකා සාසන ඉතිහාසය අනුව අතීත රජදරුවන් මහා විහාරය, අභයගිරිය, ඡේතවනය වගේ සුවිසල් ආරාමත්, සත්මහල් ලෝවාමහා ප්‍රාසාදයත් භික්‌ෂුන් වහන්සේලාගේම ප්‍රයෝජනය උදෙසා ගොඩනැගුවා.
සක්‌විති රජ සැප අත්හැර, තුන් සෘතුවට ගැළපෙන රම්‍ය, සුරම්‍ය, සුබ වගේ දැකුම්කළු මහා ප්‍රාසාද අත්හැර මහන වුණු මහ බෝසතාණන් වහන්සේට ශාක්‍යයන් විසින් නිග්‍රෝධාරාමය, බිම්බිසාර රජතුමා විසින් වේළුවනාරාමයත්a, අනේපිඬු සිටුතුමා විසින් ඡේතවනාරාමයත්, විශාඛා උපාසිකාව විසින් පූර්වාරාමයත්, මහා ධන පරිත්‍යාගයන් සිදුකරමින් සකස් කර පූජා කළා. පාවාරික සිටුවරයා කළ පාවාරිකාරාමය, කොසබෑ නුවර ඝෝෂිතාරාමය තවත් ඒ වගේ විහාර අතර වෙනවා. සුනාපරත්ත ජනපදයේ රත් සඳුන්වලින් විහාරයක් බුදුරදුන් සඳහා ගොඩනැගූ බව පුණ්‌ණෝවාද සූත්‍රයේ සඳහන් වෙනවා. මුලදී ගහක් යට, ලෙනක් තුළ වැඩ වාසය කරමින් බුදුන්වහන්සේගේ දහම් පණිවිඩය බෙදාහැරීමේ නිරතවෙලා හිටපු ශ්‍රාවක සංඝයා සඳහාත් බුදුන් දවස ආරාම ගොඩනැගූ බව අට්‌ඨක නාගර සූත්‍ර වර්ණනාවේ සඳහන් වේ. අට්‌ඨක නගර වැසි දසම කියන ගෘහපතියා ආනන්ද හිමියන් සඳහා පංචසතික විහාරයක් කළ බවත්, චිත්ත ශෘහපති විසින් මහානාම හිමියන් සඳහා ආරාමයක් කළ බවත් සඳහන් වෙනවා.
බුදුරජාණන් වහන්සේ පහළ වෙලා සංඝරත්නය පහළ වෙච්ච මුල් කාලයේ භික්‌ෂු සංඝයා ගල් ගුහා, වනාන්තර, ගස් යට ආදී තැන්වල වැඩ වාසය කළා. ශාසනය ආරම්භක අවධියේ භික්‌ෂුන්ට අවශ්‍ය ආවාස ආදිය සකසා දීමක් සිදුවෙලා නෑ. ඊට හේතුව තමයි බුදුන්වහන්සේ ලෝකයට පහළ වෙච්ච අලුත, සාසනයේ වටිනාකම තේරුම් ගෙන ඒ වගේ කටයුතු කරල දෙන්න දැනුවත් වෙච්ච පිරිසක් නොසිටීම. මිනිසුන්ට බුද්ධ ශාසනයේ වටිනාකම වැටහුණේ සද්ධර්මය අහලා දැනුවත්භාවය ඇතිවුණාට පස්‌සේ. ඒ සඳහා සෑහෙන කාලයක් ගත වුණා. ඊට පස්‌සේ බුදුන් වහන්සේ මුල්කරගෙන සංඝ රත්නය උදෙසා ගරු සැලකිලි, සිව්පස පූජාවන් ලැබෙන්න පටන්ගත්තා.
එක් අවස්‌ථාවක දායක පිංවතෙක් භික්‌ෂුන් වහන්සේ නමකට කුටියක් හදා දෙන්න ඇහුවම, බුදුරජාණන් වහන්සේ ආවාස පිළිගැනීමට අනුදැන වදාරා නැති නිසා භාරගැනීමට නොහැකි බවත්, බුදුන්වහන්සේගෙන් ඒ සඳහා අවසර අරගෙන දැනුම්දිය හැකි බවත් පැහැදිලි කළා. මේ කාරණය තථාගතයන් වහන්සේට දැනුම් දුන්නම ආවාස පිළිගැනීමට අනුදැන වදාළා. එතැන් පටන් ආවාස සකස් කරල බුදුපාමොක් මහ සඟරුවනට පූජාකරන්න සැදැහැවතුන් උනන්දු වුණා.
බිම්බිසාර රජු හමුවීමයි ආරාම පූජාවයි
උරුවෙලෙහි කැමැති පරිදි වාසය කළ බුදුරජාණන් වහන්සේ ජටිල භික්ෂූන් වහන්සේලාත් සමඟ රජගහනුවර බලා වැඩම කළ සේක. බුදුරජාණන් වහන්සේ රජගහනුවර ලට්ඨිවන උයන්හි නුගරුකක් මුල නතර වූහ. ඒ පුවත මගධාධිපති , බිම්බිසාර මහ රජුට ආරංචි විය. ඔහු මහ පිරිසක් සමඟ බුදුරජාණන් වහන්සේ, බැහැ දැකීමට ගියේය.
බිම්බිසාර රජුගේ මේ ගමනට විශේෂ වු හේතුවක් ඇත. එනම් වරක් සිද්ධාර්ථ ගෞතම බෝසතාණන් රජුට හමු විය. ඒ උද්දකාරාම පුත්තගේ අසපුවෙන් පිටත්ව ප්‍රධන් වැඩීමට උරුවෙලාව බලා යමින් මගධ චාරිකාවේ යෙදුණු අවස්ථාවේය. එහිදී කළ සාකච්ඡාවෙන් එතුමන් පිළිබඳ තොරතුරු සියල්ල බිම්බිසාර රජු දනී. එදා බිම්බිසාර රජතුමා තමාගේ රජකම බෙදා ගැනීමට කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කොට සත්‍යය සොයා යන බව ප්‍රකාශ කළ අන්දම මතකයට නැගුණි. ඒ ප්‍රකාශය පරිදි එතුමා සත්‍යය සොයා ගත්තේද? නැද්ද? කෙබඳු ආකාර ද? යන්න සිය හිතෛෂියාගෙන් දැන ගැනීමටද බිම්බිසාර රජුට කැමැත්තක් ඇතිවිය. මීට අමතරව බිම්බිසාර රජු සමඟ ගිය පිරිසටද මීට වඩා වෙනස් වූ සිතිවිලි ඇතිවිය. එසේ සිතුණේ බුදුරජාණන් වහන්සේ සමඟ ජටිල භික්ෂූන් ද සිටින හෙයිනි. ඔවුන්ට ඇති වු කුකුස වූයේ බුදුරජාණන් වහන්සේ උරුවේල කාශ්‍යපගේ අනුගාමිකයෙක්ද නැත්නම් උරුවෙල කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ අනුගාමිකයෙක්ද? යන කාරණය දැන ගැනීමට ඇතිවූ කැමැත්තයි. මෙතෙක් බුදුරජාණන් වහන්සේ ගැන තොරතුරු නොදැන සිටි රජගහනුවරවාසීන් අසළ ප්‍රදේශයේ සිටි උරුවේල කාශ්‍යප ආදින් ගැන දැනගෙන සිටින්නට ඇත. ඒ අනුව උරුවෙල් වැසි ජනතාවගේ ඒ සැකය සාධාරණය. බුදුරජාණන් වහන්සේ සහ උරුවේල කාශ්‍යප තෙරුන් අතර ඇති වූ සාකච්ඡාවෙන් ජනතාවට බුදුරජාණන් වහන්සේ පිළිබඳ දැනගැනීමට අවස්ථාවක් ඇති විය. එපමණක්ද නොව උරුවේල කාශ්‍යප තෙරුන් තමන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙකු බවද ප්‍රකාශ කළේය. බුදුරජාණන් වහන්සේ උරුවෙල කාශ්‍යප තෙරුන් අතර සංවාදයක්ද මෙහිදී සිදුවිය. ඒ මෙසේය.
“උරුවෙල කාශ්‍යපයිනි,පරහට ඔවා දෙන ඔබ කවරනම් කරුණක් දැක ගිණිපිදීම අත හැරීයෙහිද? ඔබගේ ගිණිපිදීම නතරවූ සැටි ඔබෙන් විමසමි.
යඥයෙන් (ගිනිපිදීමෙන්) රූප,ශබ්ද, රස යන මේ කාමවස්තු ලැබෙතැයි කියති. මේවා උපධි ආදියෙහි කිළිටි බව දැන යාගයෙහි නොඇලුණෙමි. ගිණිපිදීමේ නොඇලුණෙමි.
කාශ්‍යපයිනි ලොව රූප – ශබ්ද රසවල ඔබගේ සිත නොබැඳුණේ නම් කොතැනක ඔබේ සිත බැඳුණේ ද? කියා පවසන්න.
කාමභවයෙහි නොඇලුණු උපධිරහිත වෙනසකට නොපත්වන තමන්ම අවබෝධ කළ යුතු ශාන්තපද නම් වන නිවනෙහි ඇලී යාගයෙහි නොඇලුනෙමි. ගිනි පිදීමෙහි නො ඇලුනෙමි. (මහා වග්ගපාලි – මහාබන්ධක –පි. 76)
මෙම සාකච්ඡාවෙන් උරුවෙල කාශ්‍යප සිය ශිෂ්‍යභාවය පිරිසට ප්‍රකාශ කළේය. අනතුරුව තථාගතයන් වහන්සේ ධර්ම දේශනා කළහ. ධර්මය වටහාගත් බිම්බිසාර රජ සෝවාන් විය. පිරිස තිසරණ ගත උපාසකත්වය ලැබූහ. මේ හැරුණු විට ශාසන ඉතිහාසයෙහි වැදගත් සිදුවීම් දෙකක් රජගහනුවර චාරිකාවේදී දක්නට ලැබේ. එයින් එකක් ආරාම පිළිගැනීමය. අනෙක අග්‍රශ්‍රාවක දෙනම හමුවීමය.
අප මෙහිදී පළමු වැනි කරුණ වූ බුදුරජාණන් වහන්සේ ආරාම පිළිගැනීම හෙවත් බුදුරජාණන් වහන්සේට ආරාම පූජා කිරීම ගැන විමසා බලමු.
බිම්බිසාර රජ බුදුරජාණන් වහන්සේගේ වාස පාසු පතා කලන්දක නීවාප නම් වේළුවන උයන පූජා කළේය. බුදුරජාණන්වහන්සේට මෙවැනි ආරාම පුජාවක් කළ ප්‍රථම අවස්ථාව මේ බව ශාසන ඉතිහාසයේ සඳහන් වී ඇත.
“ඒ අනුව භික්ෂූන්ට ආරාම පිළිගැනීම බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළහ. මෙතෙක් ආරණ්‍ය ,රුක්ඛ මූලගිරි ගුහා ආදිය වාසස්ථාන වශයෙන් පි‍්‍රය කළ ශ්‍රාවක සංඝයා ආරාම ප්‍රතිග්‍රහණය පටන් ගත්තේ මින් පසුවය. මෙය ඓතිහාසික සිද්ධියකි. චාරිකා චරණය මගින් සිදු කළ ධර්මාධ්‍යාපනය ආරම්භගතව සිදුකිරීමේ අවස්ථාව මින් උදාවිය.
ජේතවන ආරාමය පූජාව මූර්තියකිනි
බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩවාසය කරන කාලයේදී බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වන ඉතා ප්‍රකට සිදුවීමක් ලෙසින් අනේපිඬු සිටාණන් විසින් බුදුරජාණන් වහන්සේට ජේතවනාරාමය පූජා කිරීම සඳහන් වේ.
එම ජේතවනාරාමය බුදුරජාණන් වහන්සේට පූජා කිරීම පිළිබඳ පුවත මූර්තිමත්කර ඇති කැටයමක් (වෘත්තාකාර ඵලකයක) ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්හි ඇති භාරුත් පුදබිමෙන් හමු වී ඇත.
එම මූර්ති ඵලකයේ වම්පස කොටසේ කරත්තයකින් රන්කාසි බිමට බාන අන්දමත් ඒවා ජේතවනාරාම භූමියේ අතුරන අන්දමත් මූර්තිමත් කර තිබේ. මෙහි මැද අනේ පිඬුසිටාණන් පැන් කෙණ්ඩියක් අතින්ගෙන බුදුරජාණන් වහන්සේට ජේතවනාරාමය පූජා කරන අන්දම නිරූපණය කර ඇත. බුදුරජාණන් වහන්සේ මානව රූපීව මෙහි නිරූපණය කර නැත. ඒ වෙනුවට ශී‍්‍ර මහා බෝධිය එහි මූර්තිමත් කර ඇත. ඊට හේතුව භාරුත් මූර්ති නිර්මාණය කරන කාලයේ දී ක්‍රිස්තු පුර්ව 2 වන සියවසේදී බුදුපිළිම නිර්මාණය කිරීම නොතිබුණු හෙයිනි. මෙය ඉතා ප්‍රකට මූර්තියකි. මෙය අල්ප උන්නතව නෙළා ඇත. ශුංග කලා සම්ප්‍රදායට මෙය අයත් වේ.
භාරත ලංකා බෞද්ධ උරුමය – සිරිසමන් විජේතුංග පි. 10 (2006)