Nothern Melbourne Sri Lankan Association


තෙරුවන් සරණයි ....! අතිපූජනීය නාඋයනේ අරියධම්ම ශ්රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක මාහිමිපාණන් වහන්සේ තෙරුවන් සරණයි ...! *☸සඳමඩල බැස ගියේය* *🌹"ශ්රී සම්බෝධි" බෞද්ධයා සදහම් සගරාවේ පළවූ ලිපියකි...* *☸''ශ්රීමත් සුගත තථාගත ශ්රී සම්බුද්ධ පාදස්පර්ශයෙන් පරම පවිත්රත්වයට පත් වූ ජය භූමිය වන මේ ශ්රී ලංකාද්වීපයෙහි ත්රිවිධ ශාසනභාරධාරී ව වැඩ විසූ ශ්රී කල්යාණි යෝගාශ්රම සංස්ථාධිපති, ප්රධාන අනුශාසක මහා කම්මට්ඨානාචාරය, ත්රිපිටක ධරාචාරය, ත්රිපිටක වාගීශ්වරාචාර්ය, ශාසනධජ අතිපූජනීය නාඋයනේ අරියධම්ම ශ්රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක මාහිමිපාණන් වහන්සේගේ සම අසූවන ජන්ම සංවත්සරය අප්රේල් මස 24 වැනි දිනට සැමරෙයි. ඒ මහෝත්තම සංඝ පිතෘන් වහන්සේට මෙම ලිපිය උපහාර පූජාවක් ම වේවා''* ව්යවහාර වර්ෂයෙන් 1939 වැන්නේ අප්රේල් මස 24වැනි සඳු දින කුරුණෑගල දිස්ත්රික්කයේ ඉමිහාමින්නේගම නම් සොඳුරු ගම් පියසේ විසූ දිසානායක මුදියන්සේලාගේ කළුබණ්ඩා සහ මානිංගමුවේගෙදර පුංචි මැණිකා යන දම්පතීන් හට දාව මහ පිනැති පුත් රුවනක් උපන. හීන්බණ්ඩා යන නමින් හඳුන්වන ලද ඒ දරු තෙමේ කුඩා අවධියෙහි ම මහ සගරුවනේ ඇසුර ලැබ දිනපතා ලෝ සතුන් කෙරෙහි මෙත් සිත පැතිරවීමට පුරුදු වූයේය. අනන්ත සසරින් ගෙනා පාරමී වාසනාවෙහි මෙහෙයවීමෙන් හය හතර නොදන්නා ළදරු වියෙහි දී ඔහුගේ සිතෙහි පිළිසිඳගත් පැවිදි වීමේ අදහස, මෛත්රී චිත්ත සමාධියෙහි අනුසස් දකිත්ම පුරපස සඳ මඩල සේ මුහුකුරා ගියේ ය. ''මට මතකයි මම අතදරුවා කාලේ මට සිහිනෙන් වගේ පෙනෙනවා මම කලින් හිටිය තැනට යන්න ඕන. එතනට යන්න මෙහෙම නම් බෑ. මම මහණ වෙන්න ඕනෙ. එතකොට එතැනට යන්න පුඵවන්'' කියලා. මහණකම ගැන දන්නෙ නැති කුඩා කාලයේ පවා මෙබඳු සිතිවිලි පහළ වෙලා තියෙනවා..... ''මම මගේ වයස නවයේ දීනේ සිල් සමාදන් වෙන්න පටන් ගත්තෙ. තුනේ පංතියේ දී මම නාඋයන අරණ්යයට ගිහිල්ලා පෝයට අටසිල් සමාදන් වෙන්න පුරුදු වුණාට පස්සෙ බ්රහ්මචර්යය ආජීව අෂ්ටමක සීලය නිත්ය වශයෙන් ම සමාදන් වුණා. මම වයස 15 දී පමණ බද්ධ පර්යංකයෙන් වාඩිවෙන්න පුරුදු උනා.පැය භාගයක් මට බද්ධ පර්යංකයෙන් ඉන්න පුලුවන් උනා.ඉතින් මම හැමදාම රාත්රී කෑමෙන් පස්සෙ පාඩම් කරල නිදාගන්නෙ වෙනම කාමරයක.කාමරයේ ඇඳේ බද්ධ පර්යංකයෙන් වාඩිවෙලා බ්රහ්මචර්යය ආජීව අෂ්ටමක සීලය සමාදන් වෙලා කරණීය සූත්රය කියලා මෛත්රී භාවනාව කළා. විනාඩි 10ක් 15ක් යනකොට මම ඉතින් අහසේ ඉන්නවා වගේ ඇඳේ ඉන්නවා කියල දැනෙන්නෙ නෑ. ඇහැ පියාගෙන ඉන්නේ. වටේට හඳ එලිය වගේ. ඉතින් ඒක කරලා දන්නෙත් එච්චරයි පැය භාගයෙන් පසු නිදාගන්නවා. පාන්දර 5ට අවදිවෙන්න මම හැමදාම ඔරලෝසුවේ සීනුව තියාගන්නවා. 5ට සීනුව වදින්න ළං වෙනකොට මට ඉබේම අවදිවෙනවා. අතක්පයක්වත් හෙලවිලා නෑ. දගලන වයසනේ. නමුත් එහෙම නෑ. ඇඳේ ඇතිරිල්ලවත් වෙනස් වෙලා නෑ. ඉතින් පසුවදා හරිම ප්රීතිමත් විදියට ගත කරනවා. මම හිතින් ප්රාර්ථනා කරනවා අනේ මට කුඩා වයසෙදිත් මේ භාවනාවේ ප්රතිඵල මෙහෙම්මම තියෙනවා නම්, මේකට වෙන් වෙලා අරණ්ය ගතවෙලා භාවනා කරන්න ලැබුණොත් කොච්චර වාසනාවක් ද? ඒ නිසා මම පැවිදි වෙන්න ඕනෙ කියල දෙවියන්ට පින් දීලා කියනවා මට උතුම් ලෙස මහණදම් පුරන්න තැනක් ලැබේවා''කියලා. එහි ප්රතිඵලය වූයේ මෛත්රී උපාසක යන අර්ථාන්විත නාමයකින් ද හඳුන්වන ලද හෙතෙම මාතර ශ්රී ඥානාරාම මහෝපාධ්යයන් වහන්සේගේ උපාධ්යායත්වයෙන් ද, ශ්රී කල්යාණි යෝගාශ්රම සංස්ථා සමුත්පාදක කඩවැද්දුව ශ්රී ජිනවංශ මාහිමියන් වහන්සේගේ ආචාර්යත්වයෙන් ද යුක්තව නිමල අරහත් පියවර සටහනින් පරම පිවිතුරු වූ බුදු සසුන් සක්මනෙහි ගමන් ඇරඹීමට වරම් ලැබීම යි. ඒ 1957 මාර්තු 27 බුධ දින අම්බලන්ගොඩ ගල්දූව ශ්රී ගුණවර්ධන යෝගාශ්රම මධ්යස්ථානයෙහි දී ය. නාඋයනේ අරියධම්ම යන මතුවට ලෝක පූජිත වන ශාසනික නාමය ලද මෙම නවක හෙරණපාණෝ මූලික අධ්යාපනය ලැබුයේ, නාථගන අරණ්ය සේනාසනාධිපති ව වැඩ විසූ ගැටමාන්නේ විමලවංශ මාහිමියන් වහන්සේ වෙතිනි. මහාචාර්ය රේරුකානේ චන්දවිමල, දෙවිනුවර ඥානාවාස යන ශ්රී ලංකා ස්වේජින් නිකායේ මහානායක මාහිමියන් වහන්සේලා දෙනම නාඋයනේ සමිඳුන්ට අභිධර්මය පිළිබඳ විශේෂඥ ඥානයක් ලබා දුන් ආචාර්යන් වහන්සේලා ය. භාවනාවෙන් පරිභාවිත චිත්ත සන්තාන ඇති උන් වහන්සේ අධ්යාපනයෙහි දී දක්වන ලද්දේ අනන්යසාධාරණ දක්ෂතාවයකි. මජ්කධිම නිකාය වනපොත් කරන ලද්දේ සාමණේර අවධියෙහි දී ම ය. ප්රාතිමෝක්ෂ ශික්ෂාපද වනපොත් කිරීමට ගත වූයේ සතියකි. විනය පිටකයට අයත් පාරාජිකා පාලිය හා පාචිත්තිය පාලිය සිව් මසක් ඇතුළත වනපොත් කොට අවසන් කරන ලදි. අභිධර්ම පිටකයේ ධම්මසංගණිප්රකරණය දින 19ක් ඇතුළත වනපොත් කරන ලද්දේ ඇදුරුපාණන් වහන්සේලා විස්මයට පත් කරවමිනි. 1963 වන විට කොටස් කීපයක් හැර මුඵ ත්රිපිටකය ම සිය සිතින් දරාගන්නට තරම් අප තෙරිදුන් පුණ්යවන්ත වූයේ ''යෝගාශ්රමීය ශිෂ්ය රත්නාවලියේ ත්රිවිධ ශාසනභාරධාරී දීප්තිමත් සිසුරුවන'' බවට පත් වෙමිනි. අනුරපුර අරහත් යුගයේ වැඩසිටි ත්රිපිටකධාරී මහසග පරපුරේ වර්තමාන නියෝජනය බවට නාඋයනේ මාහිමිඳුන් පත් වී වදාළේ මේ අයුරිනි. අධ්යාපනය මතු නොව නොබෝ කලකින් පැවිද්දට සෑහෙන වත්පිළිවෙත් හා ශ්රමණාකල්ප සම්පත්තියෙන් ද ශෝභමාන වූ අප හෙරණපාණන් නවදහස් එකසිය අසූකෝටි පණස්ලක්ෂ තිස්හයදහසක් ශික්ෂාපද සමන්වාගත අධිශීල සංඛ්යාත උපසම්පදා භූමියට පත් වූයේ, රංවල කුඩාඔය උදකුක්ඛේප සීමා මාලකයේ දී නිමලව අරණ්ය සේනාසනාධිපති ව වැඩ විසූ මඩවල ධම්මතිලක මාහිමියන් වහන්සේගේ උපාධ්යාත්වයෙනි. ඒ 1959 ඇසළ මස 15 වන බුධ දින සවස 3.50ට ය. 1965 වසරේ පටන් ලක්දිව පුරා නොයෙක් සෙනසුන්වල වැඩ වෙසෙමින් නවක ස්වාමින් වහන්සේලාට ත්රිපිටක ධර්මය, භාෂා ශාස්ත්ර හා භාවනා කර්මස්ථාන පිළිබඳ අධ්යාපනය ලබා දෙමින් ආචාර්යත්වයෙන් කටයුතු කළ අප මාහිමිපාණෝ අග්ගමහා පණ්ඩිත මඩිහේ පඤ්ඤාසීහ මහනා සමිඳුන්ගේ මෙහෙයවීමෙන් මීරිගම ගුරු අභ්යාස විද්යාලයෙහි ද, කොළඹ රාජ්ය සේවා බෞද්ධ සංගමයෙහි ද භාවනා ආචාර්යන් වහන්සේ වශයෙන් කටයුතු කරමින් සිදු කරන ලද්දේ සදානුස්මරණීය සේවාවකි. මාහිමියන් වහන්සේ පළමුවෙන් දහම් දෙසා ඇත්තේ පැවිදි වීමට පෙර අනගාරික ව විසූ සමයෙහි දී ය. එතැන් පටන් ශ්රී ලංකාද්වීපය පුරා ද ඉන්දුනීසියාව, ජාවා-සුමාත්රා, හොංකොං, තායිවානය, චීනය, ඕස්ටේ්රලියාව, නවසීලන්තය, නේපාලය, මැලේසියාව, සිංගප්පූරුව, මියන්මාරය, තායිලන්තය වැනි දේශදේශාන්තරයන්හි ද, ශ්රව්ය - දෘශ්ය මාධ්ය ඔස්සේ ද සිදුකළ දම් දෙසුම් සංඛ්යාව විසි දහසකටත් අධිකතරය. තමන් වහන්සේට ම ආවේණික වූ බ්රහ්ම ස්වරයට බඳු මධුර ස්වරයෙන් එම දම් දෙසුම් පවත්වන ලද්දේ ආකාශ ගංගාව මිහිතලයට හැරවූවාක් බඳු අසිරිමත් අයුරිනි. එමතුද නොව මියුරු හඬින් පිරිත් සජ්ඣායනා කිරීමට ද, වන්දනා කිරීමට ද පළ කළ ශක්යතාව ආශ්චර්ය අද්භූත ය. නාඋයනේ සමිඳුන්ගේ ග්රන්ථකරණය ද විසිතුරු පෙළහරකි. තමන් වහන්සේ විසින් ලියන ලද සංස්කරණය කරන ලද ග්රන්ථ ද, දම් දෙසුම් ඇසුරින් පළ කරන ලද දහම් පොත් ද සියල්ල එක්කොට ගත් කළ සිය ගණනකැයි කිව යුතු ය. සූවිසි පට්ඨාන ප්රත්යනය සංග්රහය නම් වූ සංක්ෂේප පට්ඨාන සන්නය, චිත්තවීථී රූපවීථී විභාගය සහ පට්ඨාන ත්රීරාශිය, සංක්ෂිප්ත භික්ෂු ශීලය, යමක වාචනා මාර්ගය, සම සතලිස් කර්මස්ථාන භාවනා, අභිධර්ම භාවනා, විශේෂාභිධර්ම භාවනා, සතිපට්ඨාන භාවනා, විපස්සනා භාවනා යනාදී රන්රුවන් මිණිමුතු ආකර බඳු කෘතීහූ ඒ අතර වෙති. දීපංකර පාද මූලයේ නියත විවරණ ලැබ ඇරඹි සම්බුදු ගමනක මිනිස් ලොව ලද එක් නවාතැනක දී උත්කෘෂ්ඨ අයුරින් පාරමී සම්භාර පූරණය කළ බුද්ධාංකුරයන් වහන්සේ නමකගේ ශ්රේෂ්ඨ චරිතය මූර්තිමත් කළ අප මහා ස්වාමින් වහන්සේගේ ජීවිතය ශ්රී සද්ධර්මයෙහි සන්දිට්ඨික ගුණ මහිමයට නිදසුනක් ම විය. ''1963දී මැල්ලගල දී මහෝපාධ්ය ස්වාමින් වහන්සේගේ උපදෙස් ඇති ව මහාසී ක්රමය මාස එක හමාරක් පුහුණු කලා. දෙල්ගහ කුටිය කියන ගල්ලෙනේ. මම බද්ධ පර්යංකයෙන් පැය හයක් එක දිගට ම භාවනා කරනවා. හවස 5 සිට රාත්රී 11 වන තුරු කිසිම අපහසුවකින් තොරව භාවනා කරනවා. ඉතින් හිත බඹතලය දක්වා යනවා වගේ දැනෙනවා'' 1995 වසරේ පටන් බුරුම රට පා-අවුක් භාවනා මධ්යස්ථානාධිපති අග්ගමහා කම්මට්ඨානාචාර්ය ඌ ආචිණ්ණ ෂයාඩෝ මාහිමිපාණන් වහන්සේ සෙවණෙහි සමථ පූර්වංගම විදර්ශනාව වඩමින් අෂ්ට සමාපත්ති සංඛාරුපෙක්ඛා ඤාණය දක්වා ප්රගුණ කිරීම එහි කූඨප්රාප්තිය වූ අතර එයට පරිවාර වශයෙන් ඉතිපිසෝ ගාථා පාඨයෙන් බුදුගුණ වාර 20 කෝටි 90 ලක්ෂයක් වැඩූ සේක. එසේම දීපංකර බුද්ධ ශාසන කාලය දක්වා අතීත ජන්මයන් දුටු අතර ආත්මභාව 1800කින් මත්තෙහි වසර ලක්ෂයකට ආයු ඇති කලෙක සව් කෙළෙස් නසා සම්බුදු බව ලැබීමෙන් සසර ගමන් නිම වීම දක්වා අනාගත ජන්මයන් ද දුටු සේක. දිනපතා අලූයම 3.50 සිට රාත්රී 10 දක්වා නොසිස් ව සිහි නුවණින් දින චර්යාව පවත්වන අප මාහිමිපාණෝ බුද්ධ වන්දනා, බුද්ධෝපස්ථාන, ආචාර්ය-උපාධ්යාය වත්, ධුතාංග පූරණ, පිණ්`ඩපාත චර්යාදී ප්රතිපත්ති අවසන තෙක්ම අඛණ්ඩව පැවැත්වූ සේක. ආචාර්යෝත්තම කඩවැද්දුව මාහිමිපාණන් වහන්සේ මෙම අතිජාත සිසුරුවන කෙරෙහි දක්වන ලද්දේ අසීමාන්තික ගෞරව සම්ප්රයුක්ත ප්රසාදයකි. ''අරියධම්ම කියන්නෙ ධර්ම වස්තුවක්. ඇවිදින ධර්ම භාණ්ඩාගාරයක්. අපි ඒ නම බ්රහ්ම ලෝකෙන් ආරාධනා කරල ගෙන්නගත්තේ. මේ අපගේ සසුන් දරු අරියධම්ම ස්ථවිර නම අපේ යෝගාශ්රම සංස්ථාවේ හදවත යි. කොතැනකට වැඩමවාගෙන් ගියත් ඒ හදවත ප්රවේශම් කොට අපට බාරදිය යුතුයි'' යනුවෙන් විවිධ අවස්ථාවන්හි දී උන් වහන්සේ තම සිසු රුවන පිළිබඳ උදාන පහළ කළ සේක. තමන් වහන්සේ දෙව්ලොව වැඩි පසු යෝගාශ්රම සංස්ථාවේ ප්රධාන අනුශාසක ධුරයට පත් ව සසුන් බර දරනුයේ මෙම සිසුරුවන බව නා සමිඳුන් දැන සිටියා විය යුතුය. 2006 වසරේදී මියන්මාර රජයෙන් මහා කම්මට්ඨානාචරිය සම්මානයෙන් ද, 2012 වසරේ දී ත්රිපිටක වාගීශ්වර ශාසනධජ සම්මානෝපාධිය සහිත ශ්රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහෝපාධ්යාය පදවියෙන් ද, 2014 වසරේදී ශ්රී ජිනවංශ ඥානාරාම වංශාවතංශ ශාසන සෝභන සම්මානෝපාධිය සහිත තත් නිකායික අනුනායක ධුරයෙන් ද සම්මානිත වූ අප නා සමිඳාණෝ සිල් සුවඳ විහිදුවමින් සදේවක ලෝකයාගේ අනුත්තර පින් කෙතක් මෙන් වැඩ සිටි සේක. ඇතැම් වස්සානයන්හිදී එකම කෙළෙස් සිතිවිල්ලක් හෝ නූපදවීමට තරම් පාරිශුද්ධ සන්තානයෙන් ද, සිකපද අකුරටම රැකි පිවිතුරු ජීවිතයෙන් ද යුතු වූ මාහිමියන් වහන්සේ දැන දැන කිසිදු ඇවතකට පත් නොවූ සේක. කිසිදා තරහ නොගත් සේක. ලාභ සත්කාරයන්හි නොඇලූනු සේක. නිකෙළෙස් උතුමකු සෙයින් නිර්මල පුණ්යාත්මීය ජීවිතයක් ගත කළ සේක. මඩිහේ මහ නාසමිඳුන්, පියදස්සී නාසමිඳුන්ගේ මාර්ගයෙන් ඇති වූ සුහදභාවය මත දරණාගම කුසලධම්ම මාහිමිපාණන් වහන්සේ හා බෞද්ධයා නාලිකාව වෙත මාහිමියන් වහන්සේ දක්වන ලද්දේ කරුණා පූර්ණ ආශිර්වාදයකි. නොයෙක් වර කොළඹ 07 ශ්රී සම්බෝධි මහා විහාරයට වැඩමවා දම් දෙසුම් පැවැත්වන ලද්දේ සමස්ත ලෝක ධාතුවට ම ධර්මය ව්යාප්ත වීම පිළිබද ඉතිරී පැතිරී යන සොම්නසිනි. සැබැවින්ම පොරණ මහ රහත් මුනිවරුන්ගේ ඡායාව සිතට නංවන අප ස්වාමින් වහන්සේ මෙබඳු ගුණ මහිමයකින් යුක්තව වැඩ විසූ සේක් නම්, තබන තබන පියවරින් මිහිමඩල සලිත කළ ඒ සාරිපුත්ත, මොග්ගල්ලාන ආදී මහා ක්ෂීණාස්රවයන් වහන්සේලා කෙබඳු ගුණ නිධානයන්ගෙන් සමන්විත ව වැඩවිසූ සේක්දැයි සිතාගැනීම පවා කළ නොහැකි වන්නේය. අපගේ ශාස්තෘන් වහන්සේ පිළිබද කවර කථාවක් ද? මෙලෙසින් සඳහිරු දෙදෙනා ගමන් ගත් ගගන තලය සෙයින් බුදු සසුන බබළවන්නට ම මනුලොවට වැඩි අප මාහිමිපාණන් වහන්සේ මද කලක් රෝගත්රස්තව වැඩසිට තමන් වහන්සේගේ පුනර්ජන්මය මහා බ්රහ්ම ප්රථම ධ්යාන භූමියෙහි වන්නේ යැයි දැන වදාරා වර්ෂ 2016ක් වූ සැප්තැම්බර් මස 7වැනි බුධදින අලූයම 2.15ට පමණ සිහිනුවණින් යෙදී අපවත් වී වදාල සේක. තුන්ලොවට පිහිට වන්නට සම්බුදු බව ම ලැබේවා 👉රවීන් කෝදාගොඩ සිංහල අධ්යයනාංශය කොළඹ විශ්වවිද්යාලය "ශ්රී සම්බෝධි" බෞද්ධයා සදහම් සගරාවේ පළවූ ලිපියකි.... *☸ධර්ම දානය පිණිස මිතුරන් අතර share කරන්න☸* *🌹තෙරුවන් සරණයි 🌹*