Nothern Melbourne Sri Lankan Association


එළඹෙන වසරේදී විශේෂයෙන්ම දෙමාපියන් මේ කාරණාව ගැන අවධානය යොමු කළොත් ඉතාම වටිනවා එළඹෙන වසරේදී විශේෂයෙන්ම දෙමාපියන් මේ කාරණාව ගැන අවධානය යොමු කළොත් ඉතාම වටිනවා. මන්ද දෙමාපියන්, දරුවන් නිසා බරපතල අකාරයට අකුසල් මූලයන් සකස්‌කර ගන්නා බව පෙනෙන්නට තිබෙනවා. වෙස්‌සන්තර ජාතකයේ ජූජක බමුණා, ජාලිය සහ ක්‍රිෂ්ණජිනා දරුවන් දෙදෙනා පහර දෙමින් අරගෙන ගියා වගේ, නිරතුරුවම කේන්තියෙන් දරුවන්ට පහර දෙන දෙමාපියන් සමාජයේ සිටිනවා. දරුවන්ට පහර දෙනවා කියන කාරණය මනුෂ්‍ය ධර්මවලට ගැලපෙන කාරණයක්‌ නම් නෙවෙයි. මේ සටහන් තබන භික්‍ෂුව මේ ලෝකයේ දකින්න අකැමැතිම දෙයක්‌ තිබෙනවා, ඒ තමයි දරුවන් හඬනවා දැකීම. භික්‍ෂුව උදේ 6.30 ට ගම්මානවල පිණ්‌ඩපාතයේ වඩිනකොට දරුවන් පාසල් ගමනට සූදානම් කරන්න ගිහිල්ලා දරුවන්ට ගහන අම්මලා ගොඩාක්‌ දැකලා තිබෙනවා. පාසල් යන දරුවන් සිටින අම්මලාගෙන් සියයට පනහක්‌ම, පාසල් දිනවල උදෑසන දරුවන් නිසාම, විසිරුණු සිතකින්මයි ගතකරන්නේ. දෙමාපියන් තුළ වැඩෙන පංචනීවරණයන් නිසාම, උදෑසන කාලයේ දෙමාපියන් තුළ ධර්මයක්‌ වැඩෙන්නේ නැහැ. ලබන්නාවූ නව වසරේදී දෙමාපියන් දක්‍ෂ වුණොත්, දරුවන් පාසල් යැමට සූදානම් කරන පැය දෙක තුළ සතියෙන් සිහියෙන් යුතුව එම කටයුතු කරන්න, දිනකට රැස්‌වන අකුසල් මූලයන් ගොඩාක්‌ අවම කරගන්න පුළුවන්කම තිබෙනවා. දෙමාපියන්, දරුවන් සමඟ කටයුතු කිරීමේදී, අම්මා තාත්තා කියන මනෝභාවයෙන් මිදී, ඔබත් දරුවෙක්‌ගේ මනෝභාවය තුළ සිටිමින් දරුවා ඉදිරියේ කටයුතු කරන්න. 'මම අම්මා, ඔබ දරුවා' කියන මනෝභාවයෙන් මේ ප්‍රශ්නය විසඳාගන්න බැහැ. දෙමාපියන්, දරුවෙක්‌ගේ මනෝභාවය තුළ සිටිමින් කටයුතු කිරීමේදී, දරුවාගේ අකීකරුකම්, ප්‍රමාදභාවයන් ඉදිරියේ ඔබ ගැටෙන්නේ, කේන්ති ගන්නේ නැහැ. මන්ද ඔබ දරුවා දෙස බලන්නේ දරුවාගේම මනෝභාවයෙන් නිසා, අකීකරුභාවයන්, ප්‍රමාදභාවයන් ඔබටද අදාළ ධර්මයන් ලෙසින් ඔබ දකිනවා. භික්‍ෂුව ධර්මය දේශනා කරන විට, සාකච්ජා කරන විට, සමහරක්‌ කුඩා දරුවන් දඟ කරනවා, හඬනවා. භික්‍ෂුව ඒ මොහොතේ මනසින් තමන්ගේ ළමා කාලයට යනවා. එවිට ප්‍රශ්නය ඉවරයි. නමුත් පිංවතුන් ධර්මය ශ්‍රවණය කරන වෙලාවට දරුවන්ව තැන්පත්ව තබාගන්න දක්‍ෂවෙන්න ඕනේ. දරුවන් දඟ කළොත් අනෙක්‌ පිංවතුන්ලාගේ ධර්මශ්‍රවණයට බාධා වීම නිසා, දරුවාට අකුසල් සිද්ධවෙන්න පුළුවන්. මේ ලබන්නා වූ නව වසරේදී පිංවත් දෙමාපියන්, දරුවන් නිසා සකස්‌වන අකුසල් මූලයන් අවමකොටගෙන, දීර්ඝායුෂයට අදාළ සංස්‌කාරයන් ජීවිතයට එකතු කොටගැනීමට දක්‍ෂවෙන්න. ඒ වගේම වර්තමාන සමාජයේ පිංවතුන්ලා, අතීත පිනේ ඵලයන් ලෙසින් ලද සිය ජනප්‍රියභාවය බලවත් ආකාරයට අකුසල් මූලයන් වර්ධනය කරගැනීමට, හේතුකර ගන්නවා. දේශපාලන, ව්‍යාපාරික, කලා, මාධ්‍ය, අධ්‍යාපන, වෛµ, ක්‍රීඩා වෛද්‍ය ක්‍ෂේත්‍රවල ජනප්‍රියභාවය යම් පිංවතෙකුට ලැබෙන්නේ, අතීත දානයේ සහ ශීලයේ ඵලයන් නිසාමයි. දානය සහ ශීලය යන ශක්‌තීන් දෙකේම එකතුවේ ඵලයන් හේතුවෙන් පිංවතුන්ලාට ජනප්‍රියභාවය ලැබෙන නිසා, ජනප්‍රිය පිංවතා ස්‌වභාවයෙන්ම වේගවත් වෙනවා. මේ වේගය තුළින් ඔහු පෙරළා ලෝභ, ද්වේශ, මෝහ ධර්මයන් ජීවිතයට එකතුකොට ගන්නවා. යම් පිංවතෙක්‌ට සිය ක්‍ෂේත්‍රයේ ජනප්‍රියභාවය වැඩිවෙන්න වැඩිවෙන්න ඔහු අයකරන මිල වටිනාකම, වැඩි කොට ගන්නවා. තමන් මේ අධික මිලට විකුණන්නේ දානයේ ශීලයේ ඵලය බව ඔහු දකින්නේ නැහැ. දානයට, ශීලයට කළගුණ සලකන්නේ නැහැ. දානයේ ශීලයේ ඵලයන්ට කළගුණ සලකන්නේ නැතිව, අතීත දානයේ ශීලයේ ඵලය වන ජනප්‍රියභාවය ඉහළ මිලට විකුණන පිංවතුන්, තමන් රැස්‌කරගත් පෙර ජීවිතවල දානයට ශීලයට අදාළ සංස්‌කාර විකිණී අවසන් වුණාට පසුව, ජනප්‍රියභාවයෙන් පිරිහිලා යනවා. ලබන්නාවූ නව වසරේදී සෑම ක්‍ෂේත්‍රයකම ජනප්‍රියභාවයට පත්වූ පිංවතුන්ලා දානයෙන් ශීලයෙන් ශක්‌තිමත්ව, ඔබගේ ජනප්‍රියභාවය ඉදිරියේ සකස්‌ වන අකුසල් මූලයන්ට නිරතුරුවම රතු එළිය දල්වාගෙන කටයුතු කිරීමට දක්‍ෂවෙන්න. ජනප්‍රියභාවය ඉදිරියේ පිංවත් ඔබ, අකුසල් මූලයන්ට කොළ එළිය දැල්වුවොත්, පිංවත් ඔබ ලෝභ ද්වේශ මෝහයන්ගේ අවාසනාවන්ත සිරකරුවෙක්‌ වේවි. පිංවතුන්ලා දවසේ පැය අටක්‌ම ගතකරන කාර්යාල ජීවිතයේදී, රාජකාරී ජීවිතයේදී, රාජකාරී බහුලවීම, කලකිරීම්, නොසලකාහැරීම්, ආයතන ප්‍රධානියා ඉදිරියේ ලකුණුදාගැනීම්, කේලාම්කීම්, තරගකාරිත්වයන් හේතුවෙන් නිරතුරුවම අකුසල් මූලයන් සකස්‌කරගන්නවා. සමාජයේ පවතින ධර්මතාවන් අපට වෙනස්‌ කරන්නට බැහැ. අපි දක්‍ෂවෙන්න ඕනේ ධර්මයන්ට අදාළව වෙනස්‌ වෙන්න. පිංවත් ඔබ උදෑසන රැකියාටව යනකොට 'අද මම කේන්තිය ඉදිරියේ, සතිය සිහිය ඇතිකරගන්නවා'ය කියල අධිෂ්ඨානයක්‌, තමා තුළින්ම ඇති කොටගෙන රැකියාවට පිටත්ව යන්න. එය ඔබට ශක්‌තියක්‌ වේවි, අකුසල් මූලයන් අවම කර ගන්න. මගතොටේදී බස්‌රථයට, දුම්රියට ගොඩවෙන්න ගිහින් පිංවත් ඔබ මොනතරම් අකුසල් මූලයන් ඇති කොටගන්නවාද? වාඩිවී යන ආසනය පිළිබඳ ලෝභ සිත් ඇති වෙනවා. තද බදය නිසා ද්වේශ සිත් ඇති වෙනවා. මේවාට දොස්‌තබමින් මෝහ සිත් ඇති කොටගන්නවා. මහා මාර්ගයේ වාහනයක්‌ පදවාගෙන යනකොට මාර්ග සංඥා පුවරුවක රතු එළියක්‌ දැල්වුණොත් පිංවත් ඔබ ගැටෙනවා. නැවත කොළ එළිය දැල්වෙනතුරු මොන තරම් අකුසල් මූලයන් ඇතිකොටගන්නවාද? නව වසරේ පිංවත් ඔබ අකැමැති දේ ඉදිරියේ හොඳින් සතිය, සිහිය පිහිටුවාගෙන හැසිරෙන්න. ඔබ අකැමැති දෙය ඉදිරියේ සතිය සිහිය දුර්වල වුණොත්, ඒ නිමේෂයේදීම අනාගත භවගමනේ අඩු ආයුෂයට අයත් අකුසල් මූලයන් සකස්‌ වෙන බව නුවණින් දකින්න. මාර්ග සංඥා පුවරුවක රතු එළිය වැටෙද්දී, එම රතු එළිය ගැන අවබෝධයෙන් සිටිමින් 'අනිත්‍යයි, අනිත්‍යයි' වශයෙන් සිතන්න. එවිට කහ එළිය වැටේවී. කහ එළිය වැටෙන විට ගමනට සූදානම් වෙන්න. කහ එළිය වැටෙද්දිත් අනිත්‍යයි සිතන්න යන්න එපා. එහෙම වුණොත් පසු පසින් ඇති වාහන ඔබට නලාව නාද කරා වී. අන්තයන්ට නොයා හැමවිටම ධර්මයන්ට ඒම පිණිස පිංවත් ඔබ නව වසරේදී අධිෂ්ඨානයක්‌ ඇති කරගන්න. එදිනෙදා ගෘහ ජීවිතයේදී පිංවතුන් අතින් සිදු වන අකුසල මූලයන් කෙරෙහි, නිරතුරුවම අවධානයෙන් සිටීමට මේ නව වසරේදී අධිෂ්ඨානයක්‌ ඇති කරගන්න. පිංවත් ඔබ එළවළුවක්‌ ගන්න වෙළෙඳසැලට යනවා. එළවළු වෙළඳසලේ වම්බටුත් තිබෙනවා. තලන බටුqත් තිබෙනවා. පිංවත් ඔබ සෙම අමාරුව තිබෙන කෙනෙක්‌ නම්, ඔබ වම්බටුවලට ගැටිලා, තලනබටු වලට ඇලෙනවා. අකුසල මූලයක්‌ සකස්‌ වුණා. පිංවත් ඔබ එළවළු කඩයට ගිය විට, ඔබට දියවැඩියාව තිබෙනවා නම් කරවිලවලට ඇලෙනවා. බතලවලට ගැටෙනවා. අකුසල මූලයක්‌. පිංවත් ඔබ රූපලාවන්‍යය ගැන වෙහෙසෙන අයෙක්‌නම්, එළවළු කඩේදී ඔබ කැරට්‌ වලට ඇලෙනවා. බතලවලට ගැටෙනවා. අකුසල මූලයන් සකස්‌ වුණා. ඔබ මාළුකඩයට ගිහින් එහි කෙළවල්ලා මාළු දැකලා ඒවා ඌෂ්ණයි කියලා ගැටිලා අකුසල් මූලයන් සකස්‌ කරගන්නවා. පලතුරක්‌ ගන්න පළතුරු කඩයට ගිහින් 'මේ පලතුරුවලට කාබයිට්‌ ගහලා' කියලා ගැටෙනවා. අකුසල් මූලයන් සකස්‌ වුණා. අපි නොසිතුවත්, අපටත් නොදැනී ඉතාම සියුම් ලෙස මේ අකුසල් සිත් අප තුළ සකස්‌වෙනවා. පිංවත් ඔබ නිවසේ තිබෙන කණ්‌නාඩි මේසය ගැන සිතන්න. එම කණ්‌නාඩි මේසය මත තිබෙන පවුඩර් පෙට්‌ටිය, සුවඳ විලවුන් කුප්පිය, පනාව ගැන සිතන්න. මේවා නිසා ඔබ රූපය, හැඩය, වර්ණය නිත්‍යභාවයෙන් ගැනීමෙන් දිනකට, මොන තරම් අකුසල් මූලයන් රැස්‌කරගන්නවාද? මුහුණේ තවරගන්න පවුඩර් ටික, සුවඳ විලවුන් ටික, මොහොතක්‌ තුළ දහඩියෙන් සේදී ගියත්, ඔබ රූපය කෙරෙහි ඇතිකොටගත් ලෝභ සිත, රූපය වැහැරී යනකොට ඇතිවන ද්වේශ සිත, ඔබව බවයේ දුකට රැගෙන යනවා. පිංවත් ඔබ ගෙදරදොර පිරිසිදු කරන කොට, රෙදි සෝදන, මදිනකොට, ආහාර පිසිනකොට, සූදානම්කරගන්නකොට, ගෙමිදුල මල්ගස්‌ නඩත්තු කරනකොට, රූපවාහිනියක්‌ පත්තරයක්‌ බලනකොට මොනතරම් නම් ලෝභ, ද්වේෂ, මෝහ සිත් ඇතිකරගන්නවාද? එළවළු පන්සීයක්‌, මාළු පන්සීයක්‌ ගන්න වෙළෙඳසැලට ගියත් ,ලෝභ සිතක්‌, අකුසල් මූළයක්‌ නම් ඇතිවෙන්නේ, පිංවත් ඔබ ලබන්නාවූ නව වසරේදී පරෙස්‌සම් වෙන්න ඕනේ. එළවළුවක්‌, පළතුරක්‌ ගන්න ගියා වේවා, ඇඳුමක්‌ මිලට ගන්න ගියා වේවා, ඔබ තුළ රූපය කෙරෙහි, නිරෝගීභාවය කෙරෙහි, මිල කෙරෙහි, සෞඛ්‍යාරක්‍ෂිතභාවය කෙරෙහි සිතක්‌ ඇති වෙන මොහොතේම එම සිත අනිත්‍යයි කියලා දකින්න. වම්බටු දැකලා, වම්බටු අනිත්‍යයි කියලා සිතෙනකොටම අනිත්‍යයි කියලා දකින්න. භික්‍ෂුව මෙහෙම සටහන් කළා කියලා, ඔබ එළවළු කඩේට ගිහින් මුදලාලි ඉස්‌සරහ ඇස්‌ දෙක පියාගෙන අනිත්‍යය දකින්න යන්න එපා. එම චර්යාවන් මෝහයටයි ගැනෙන්නේ. නව වසරේදී පිංවත් ඔබ අන්තයන්ට යන්න එපා. ධර්මයට එන්න. පිංවත් ඔබට අවශ්‍යනම් කණ්‌නාඩි මේසයත් පාවිච්චි කරන්න. පවුඩර්, සුවඳ විලවුන් අවශ්‍ය නම් පාවිච්චි කරන්න. රූපය, ලස්‌සන, සුවඳ, වර්ණය අනිත්‍ය වශයෙන් දකිමින්.... භික්‍ෂුවගේ ගිහි ජීවිතයේ පාසල් යන කාලයේ අම්මා පවුඩර් දැම්මට පස්‌සේ කවදාවත් පවුඩර් මුහුණේ තවරලා නැහැ. සිනහවෙන්ම තමයි මුහුණු සරසාගත්තේ. පිංවත් ඔබ තුළින් එළවළුවක්‌ ගන්න ගියත්, මාළුවක්‌ ගන්න ගියත්, ගෙදර අතුපතුගාන්න, පිරිසිදු කරන්න ගියත්, රැවුල කපාගන්න ගියත් මෙතරම් අකුසල මූලයන් රැස්‌වෙනවා නම්, පිංවත් ඔබට දැන් සැකයක්‌ නැහැ නේද, මනුෂ්‍යයාගේ පරමායුෂ අඩුවෙන්නේ අකුසල් මූලයන් වැඩීම නිසාමය කියලා. ධර්ම දානය පිණිස හැකිතාක් Share කරන්න... තෙරුවන් සරණයි සියළුම ලිපි සඳහා පිවිසෙන්න: www.maharahathunwadimagaosse.org