Useful Links
Search Engines
Google
Bing
Yahoo
Ask
E-Mail types
gmail
Outlook or Hotmail
Yahoo
gmail
Dhamma Talks
Sri kalyaana
Sawanata Sisila
You Tube
You Tube
Sri Lankan Radio
All Sri Lankan
Hiru FM
Sirasa
SLBC
SL NEWS
SL news papers
Sinhala Page
සිංහල පිටුව
පින හා කුසලය එකක්ද? දෙකක්ද ? එකම ධර්මතාවයකට කියන නම් දෙකක්ද?
පින හා කුසලය එකක්ද? දෙකක්ද ? එකම ධර්මතාවයකට කියන නම් දෙකක්ද? තෙරුවන් සරණයි…! අද කාලේ බොහෝ දෙනෙක්ට තියන ගැටළුවක් තමයි පින හා කුසලය එකක්ද? දෙකක්ද ? එකම ධර්මතාවයකට කියන නම් දෙකක්ද? යන ප්‍රශ්නය. මේ ගැන බොහෝ දෙනා බොහෝ මත පල කරනවා. මෙය ආරම්භ වූ තැන ගැනත් සඳහන් කරමින්, මේ ගැන ඉතාම හොද ධර්මානුකූල පැහැදලි කිරමක් අපවත්වී වදාළ අවසරයි නා උයනේ අරියධම්ම මහා ස්වාමින්වහන්සේ විසින් කලකට පෙර සඳහන් කර තිබුණා. බොහෝ දෙනාගේ දුර්මත දුරු වීම සඳහා පහතින් දක්වන්නේ ඒ පැහැදිලි කිරීම. පින සහ කුසලය යනු එකක් ද? දෙකක් ද? පින්වතුනි, මෑත භාගයේ, මගේ මතකයේ හැටියට 1988 ඉඳලා ඔය ප්‍රශ්නෙ තියෙනවා. ඔය ප්‍රශ්නේ නැඟුනේ දකුණේ, ඔය ප්‍රශ්නයේ නිර්මාතෘවරයා මම හොඳට දන්න ස්වාමීන් වහන්සේ කෙනෙක්. ඒ කියන්නේ මාතර සිරිමංගල පිරිවෙනෙහි දීර්ඝ කාලයක් පරිවේනාධිපති ධූරය දැරූ පොල්හේනේ සෝමවංශ ස්වාමින් වහන්සේ තමයි මේ ප්‍රරශ්නය ඇති කළේ. බොහෝම උගත්, භාෂා හයක් පමණ පරතෙරට උගත් ස්වාමීන් වහන්සේ කෙනෙක්. අපි දකින කාලේ වයෝවෘද්ධයි. ඒ ස්වාමින් වහන්සේ වැඩඉන්න අහංගම මංගලාරාමයේ තිබුණා භාවනා පංතියක්. මාස්පතා එතැන භාවනා පංතියක් පැවැත්වෙනවා. ඒ භාවනා පංතිය පවත්වන්නේ මගෙන් උපදෙස් ලබාගත්ත උගත් මහත්මයෙක්. ඒ තමයි වැලිගම සිටිය චන්ද්‍රපාල ජයසිංහ මහත්මයා. වර්ෂයකට වරක් මාත් ඒ වගේ විශේෂ තැන්වලට වඩම්මාගෙන යනවා. ඒ වසරෙහි මැයි මාසේ 30 වෙනිදා ඒ භාවනා පංතියට මාව එක්කරගෙන ගියා. ඉතින් උදෑසන හයට සිල් පිහිටවපු පිරිස උදේ ආහාර අරගෙන අටට ඊළඟ වැඩසටහනට මාවත් සම්බන්ධ කරගත්තා. ඒ මහත්මයා මට කල්ඇතිව දැනුම්දුන්නා ස්වාමින් වහන්ස මේ පණ්ඩිත ස්වාමින් වහන්සේ මෙහෙම දේශනාවක් කරනවා ලෞකික සැප පිණිස කරන යහපත් දේ පින, නිවන් සුව පිණිස කරන යහපත් දේ කුසලය. දැන් මේ භාවනා වැඩසටහනේ හවස හතරට තියෙනවා ධර්ම සාකච්ඡා පැයක් එතැනදි මේ ප්‍රශ්නය කවුරු හරි අහයි ස්වාමින් වහන්සේ ඒකට සුදුසු පිළිතුරක් දුන්නොත් හොඳයි. ඒකයි ඒ මහත්මයා මට දැනුම් දුන්නේ. ඇත්තෙන්ම හවස හතරට තිබුණා ධර්ම සාකච්ඡා පැය. ඒ ගරුතර ස්වාමින් වහන්සේත් ඇවිල්ලා දම් සභාවේ වාඩිවුනා. ඉතින් මම තමයි ප්‍රශ්නයට උත්තර දෙන්න ඉන්නේ. මං ආරාධනා කළා සිල්පිරිසට භාවනා ගැන, දහම් කරුණු ගැන ගැටළුතැන් සාකච්ඡා කරන්න මං අවසර දෙනවා කියලා. ඉතිං භාවනා ගැන සමහර කෙනෙක් ප්‍රශ්න ඇසුවා. ඔය අතරට කෙනෙක් මේ ප්‍රශ්නෙත් නැඟුවා ‘‘ස්වාමින් වහන්ස මේ පිනය කුසලය කියන දෙක දෙකක් ද එකක් ද?’’ කියලා. ඉතිං මේක ඇත්තට කෙළින්ම විසඳන්න පුලූවන් ප්‍රශ්නයක්, නමුත් අර පූජනීය ලොකු ස්වාමින් වහන්සේත් මේ දම් සභා මණ්ඩපයේ නිසා උන්වහන්සේගේ හිත තැලෙන්නෙ නැතිවෙන්න කියන්නත් ඕනි. ඒ නිසා මම කියා හිටියා අපේ බුදුරජාණන් වහන්සේ විසින් සිත පිළිබඳ සියල්ලම, සියලූ ආකාරයෙන්ම, සවිස්තරවම දේශනා කරලා තියෙන්නේ ධම්මසංගනී ප්‍රරකරණයේ චිත්තෝත්පාද කාණ්ඩයේ. ලෝකයෙහි ලෞකික ලෝකෝත්තර සියලූම සිත් එතැන විස්තර කෙරෙනවා. ඒ සෑම තැනකදීම කාමාවචර, රූපාවචර, අරූපාවචර, ලෝකෝත්තර කියන භූමි හතරටම අයිති යහපත් යහපත් කුසල ධර්ම ඔක්කෝටම කියන්නේ කුසලා ධම්මා, කුසලා ධම්මා කියලා. ඒ එක තැනකදිවත් පුඤ්ඤා ධම්මා පුඤ්ඤා ධම්මා කියලා කියන්නේ නෑ. එහෙත් අට්ඨකතාවල මේ පුඤ්ඤ කියන වචනය භාවිත කරනවා. මම අහනවා ඒ ලෞකික/ලෝකෝත්තර කුසල ධර්ම ඔක්කෝම 21ක් තියෙනවා. ඒ කියන්නෙ දාන, ශීල, භාවනා, අපචායන, වෙයියාවච්ච, පත්තිදාන, පත්තානුමෝදන, ධම්මසවන, ධම්මදේසන, දිට්ටුජුකම්ම කියලා මේ සියලූම ආකාරයෙන් කරන සෑම යහපත් දෙයක්ම පාසා ඇතිවන සිත් ඔක්කොම කුසලා ධම්මා කියනවා. දස පාරමී කිව්වත් දස කුසල කර්මපථ කිව්වත් සිව් බඹ විහරණ කිව්වත් සතර සංග්‍රහ වස්තු කිව්වත් කරණීය ධර්ම කිව්වත්, මහා මංගල ධර්ම කිව්වත්, බෝධිපාක්ෂික ධර්ම කිව්වත් ධ්‍යාන විපස්සනා ඔක්කොම කුසල. ‘‘එහෙම නම් යම්කිසි සිත් කොටසක් පුඤ්ඤා ධම්මා කියලා කියනවද?’’ කියලා මං ප්‍රශ්නයක් කෙරුවා. එතකොට ඒ පණ්ඩිත ස්වාමින් වහන්සේ හිස හොල්ලලා කියනවා ‘‘ඒක නේන්නම්’’ කියලා. තේරුම් ගත්තා උන්වහන්සේත් එහෙම සිත් කොටසක් වෙන් කරලා නෑ. පස්සේ ඉතින් මේක පැහැදිලි වෙන්න මම නිදසුනක් ඉදිරිපත් කළා. අපි රාත‍්‍රී කාලයේ අඳුරු වෙලාවට පහනක් දල්වනවා. මේ පහන දැල්වීමේ දී ක්‍රියාකාරී දෙකක් එකවර සිද්ධ වෙනවා. ඒ නිසා පහනට අපි නම් දෙකක් පාවිච්චි කරනවා. පහනින් සිදුවන ක්‍රියාකාරී දෙක පෙර පසු නොවී සිදුවෙනවා. එකක් එළිය පැතිරීම අඳුර නැතිවීම අනික. එළිය පැතිරෙන අර්ථයෙන් එකම පහනට කියනවා පහන කියලා. දීපෝ, පදීපෝ, පජ්ජෝතෝ ඔය නම් පාලියෙන් කියවෙනවා. අපි සිංහලෙන් කියන්නෙ පහන. ඒ පහනටම අඳුර නසන අර්ථයෙන් කියනවා තමෝනොද, තමදස්සි කියලා. තම කියන්නේ අඳුර. තමෝනොද කියන්නේ අඳුර නසන. තමදස්සී කියන්නෙත් අඳුර නසන. එතකොට ඇයි මේ එකම පහනට නම් දෙකක් ඇතිවුනේ? එහි තිබෙන ක්‍රියාකාරී දෙක නිසයි. ඒ වාගේ අපි යම් කිසි කුසලයක් කරන වෙලාවේ ක්‍රියාකාරී දෙකක් එකවර සිද්ධ වෙනවා. අපි හිතනවා මෙන්න මෙහෙම දැන් නමස්කාරෙ කිව්වා. මේ නමස්කාරෙ කියනකොට ඔය දෙකම එකවර සිද්ධ වෙනවා. ඒ මොනවද, හිත එළිය වීමයි හිතේ අඳුර නැතිවීමයි. පෙර පසු නොවී සිදුවෙනවා. හිතේ එළිය වීම නම් නමස්කාර පාඨය වුනත් කියන වෙලාවේ හිතේ ඇතිවෙන්නේ ශ්‍රරද්ධාව, වීරිය, සතිය, සමාධිය, ප්‍රඥාව කියන ඉන්ද්‍රියධර්ම. බල ධර්ම, බොජ්ඣංග ධර්ම. මාර්ගාංග ධර්ම, සතර සතිපට්ඨාන, සම්‍යක්ප්‍රධාන, ඍධිපාද, මේවා පහල වෙන්නේ. කොටින් කියනව නම් සෝබන චිත්ත චෛතසික පහළ වෙන්නේ. හිත එළිය වෙනවා, ප්‍රසන්න වෙනවා, ඒ එක්කම මොකද සිද්ධ වෙන්නෙ සිතේ අඳුර නැති වෙනවා. අපේ සිත නිතරම වට කරගෙන එනවා ලෝභ දෝස මෝහ ආදී උපක්ලේෂ. අර අඳුර තිබුණ වෙලාවේ පහන දැල්වුවාම අඳුර දුරුවෙනවා වගේ ඒ වෙලාවේ ඒ අකුසල සිතිවිලි කිසිවක් නෑ. ඒක නිසා ඒ සිතට කියනවා පින කියලා. සිත පහන් කරන අර්ථයෙන් පින කියනවා. සිතේ අඳුර නැති කරන අර්ථයෙන් කුසල කියනවා. ඒ නිසා එකම සිතට කියන නම් දෙකක් පාවිච්චි වෙනවා. එතකොට ඒ පූජනීය ස්වාමින් වහන්සේ කියනවා ලෞකික සැපක් පිණිස ඒ කියන්නෙ මනුලොව, දෙව්ලොව, බඹලොව සැප පිණිස කරන්නේ පිනයි කියලා. ඒවට කුසල් කියන්නෙ නෑ කියලා කියනවා. නමුත් ඒ දිව්‍ය බ‍්‍රහ්මාදී සම්පත් පිණිස කරනු ලබන හැම දෙයක්ම කුසල කියන්නත් පුලූවන් පින කියන්නත් පුලූවන්. ඒකට වෙන නාම සම්මුතියක් තියෙනවා. ලෞකික සම්පත් පිණිස කරන පින හෝ කුසලය නමින් හඳුන්වන යහපත් දේ වට්ටගාමිණී කුසල්/ වට්ටගාමිණී පින කියනවා. ලෝකෝත්තර සම්පත් පිණිස සිදුවන දේවලට කියනවා විවට්ටගාමිණී පින විවට්ටගාමිණී කුසලය කියලා. ඒ නිසා ඒකට වට්ටගාමිණී විවට්ටගාමිණී කියලා වෙන්කරන්න පුලූවන් මිසක් පින වෙනයි, කුසලය වෙනයි කියා කිව නොහැකි වෙනවා. අනිත් එක අපි සලකා බලන්න ඕනෑ පිනය කියන වචනයෙහි නිර්වචනාර්ථයක් තියෙනවා. නිර්වචනය කියන්නේ ඒකේ අක්ෂරයට අනුව යෙදෙන තේරුම. පින කියන සිංහල වචනයේ පාලි වචනය තමයි පුඤ්ඤං. මේ පුඤ්ඤං කියන පදෙන් කියවෙන්නේ ඒකේ ධාතු ප්‍රකෘතිය පූපවනේ කියන ධාතුව පවනේ කියන්නෙ පිරිසිදු බව. පවිත‍්‍ර අර්ථය. පු කියන පවිත‍්‍රාර්ථ ධාතුවට යටින් ණ්‍ය කියල ප්‍රත්‍යයක් එනවා. මූර්ධජ ණයන්නට යන්සය එනවා. ඒකට ආදේශ වෙනවා අල් ඤයන්නක්. ඒක ද්විත්ව වෙනවා. ද්විත්ව වෙලා අර යන්සය තිබුණ අයන්න එකතු වුනාම පුඤ්ඤ කියල පදයක් හැදෙනවා. එතකොට එතනින් කියන්නෙ පිනවීම නෙවෙයි. පිරිසිදු වීම. යම්කිසි සිතක පිරිසිදුවීමක් තියෙනව නම් ඒක පුඤ්ඤ. එතකොට කුසල කියන වචනයෙ කියවෙනවා. කෝසල්ල සම්භූතාර්ථය කියලා. කෝසල්ල කියන්නේ ප්‍රඥාව. ප්‍රඥාවෙන් හටගන්නා දේට කියනවා කුසල කියලා. කෝසල්ල සම්භූතාර්ථය ඒක තවත් දුරට නිර්වචන වශයෙන් තෝරනවා මෙහෙම ටීකා වල. කුස සංඛාතේ පාපකේ අකුසලේ ධම්මේ සලයන්ති චලයන්ති කම්පෙන්ති විද්දංසෙන්ති’ති කුසලා. පාප ධර්මයන්ට කියනවා කුස කියලා. ඒ මක් නිසාද? කුච්චිතේන ආකාරේන සංතානේ සයංති’ති කුසා. කුසා කියලා තණකොල වර්ගෙකුත් තියෙනවා කුසතණ කියලා. ඒක කොලයේ අග ඉඳලා මුලට එහෙම ඇද්දොත් දැලි පිහියෙන් වගේ අත කැපෙනවා. ඒ වගේ තමයි මේ කුස කියන අර්ථයෙන් කියවෙන අකුසල ධර්ම. කුච්චිතේන ආකාරේන නින්දිත වූ පහත් වූ ආකාරයෙන් සිත තුළ හට ගන්නා දේට කියනවා කුසා කියලා. දැන් ලෝභය කියන්නෙ නින්දිත දෙයක්, ද්වේශය කියන්නෙ නින්දිත දෙයක්, මෝහය කියන්නෙ නින්දිත දෙයක්, මාන්නය කියන්නෙ නින්දිත දෙයක්. ඔය වාගේ අකුසල කියන ජාතිය බොහෝම නින්දිතයි, තුච්ඡුයි, ඒ වාගේම අපිරිසිදුයි, අඳුරුයි, ඒවා පාපකේ ධම්මේ සලයන්ති – ගොයම් කපන්නා වගේ හිතින් කපා දානවා, චලයන්ති – සොලවලා දානවා, කම්පෙන්ති – කම්පනය කරනවා, විද්දංසෙන්ති – විනාශ කරනවා. එහෙම ඒ කුස සංඛ්‍යාත ලෝභ දෝස මෝහ ආදී පාප ධර්මයන් සලනය, චලනය, කම්පනය, විද්දංසනය කරන්නේ යමක් ද, ඒකට කියනවා ‘කුසල’ කියලා. ඒ නිර්වචනෙ. එතකොට දැන් තේරුම් කරගන්න පහසුයි කවර හෝ හිත පිරිසිදු කරන දෙයක් කරන වෙලාවක් නම් ඒ හිතේ පහළ වෙන්නෙ සෝභන චෛතසික ධර්මයන්. සෝභන චෛතසික ධර්මයන් හිතේ පහළ වෙනකොට සිතේ කෙළෙස් අඳුර දුරු වෙනවා, ඒ වගේම සෝභන ධර්මයන් පහළ වීමෙන් සිත ආලෝක වෙනවා. ඒ නිසා එකම සිතට කෙළෙස් අඳුර දුරුවන අර්ථයෙන් කුසල කියනවා. හිත ආලෝකමත් වන අර්ථයෙන් පින කියලා කියනවා. මේ දෙක වචන දෙකක් මිසක් ධර්මතා දෙකක් නොවෙයි. දැන් නිදසුනක් වශයෙන් කියනව නම් ඔය පිනය, කුසලය කියන මේ වචනය පරමාර්ථ වචනයක්. සම්මුති වචන නොවේ. මේ පරමාර්ථ වචන යෙදෙන්නේ ඒ ඒ දෙයෙහි තියෙන ක්‍රියාකාරීත්වය අනුවයි. ක්‍රියාකාරීත්වය අනුව කියන්නේ හැම දේකටම තියෙනවා යම්කිසි ක්‍රියාකාරී බවක්. ඒ ක්‍රියාකාරී බව නිසා ඒ නමක් ලැබෙනවා. අපි සිතා බලමු සිත ගැනම. සිතේ තියෙනවා ක්‍රියාකාරීකම් දහයක්. සිතේ ක්‍රියාකාරීකම් දහයක් නිසා සිතට නම් දහයක් තියෙනවා. මෙන්න මතක තියා ගන්න සිතේ නම් දහය. චිත්තං, මනෝ, මානසං, හදයං, පණ්ඩරං, මනෝ මනායතනං, විඤ්ඤාණං, විඤ්ඤාණඃඛන්දෝ, මනෙන්ද්‍රියං, තජ්ඣා, මනෝ විඤ්ඤාණ ධාතු. තේරුම් දහයක් තියෙනවා. ඒ දහය සිත් දහයක් නොවෙයි. එකම සිතට කියන්න පුලූවන් නම් දහයක්. එකම සිතට ඇයි මේ නම් දහයක් තියෙන්නේ? එකම සිතේ තියෙනවා ක්‍රියාකාරීකම් දහයක්. ඒවාට කියනවා යාථාව සරස ලක්ඛණ කියලා. ඒ කියන්නේ ඇත්ත වශයෙන්ම තියෙන ස්වකීය කෘත්‍ය ලක්ෂණය හැම දේකටම තියෙනවා. දැන් අපි හිතමු ප්‍රඥාව. ප්‍රඥාවේ ක්‍රියාකාරීකම් තියෙනවා තිහක්. ඒ නිසා ප්‍රඥාවට නම් තිහක් තියෙනවා. එතකොට ඒ නම් වලින් වෙන වෙන ධර්මතා නොවෙයි, එකම ප්‍රඥාව හඳුන්වන්න නම් තිහක් තියෙනවා. තෘෂ්ණාව ගැන, තෘෂ්ණාවේ ක්‍රියාකාරීකම් තියෙනවා සියයක්. එච්චර ක්‍රියාකරන දෙයක් වෙන ඇත්තේ නෑ. තෘෂ්ණාවේ ක්‍රියාකාරීකම් සියයක් නිසා නම් සියයක් තියෙනවා. එතකොට ඒ කියන්නේ ධර්මතා සියයක් නොවෙයි එකම තෘෂ්ණාවට කියන නම් සියයක්. ඒ වාගේ එකම කුසල් සිතට, එකම පින් සිතට මේ නම් දෙක පාවිච්චි කරනවා. ඒ නිසා අර පහනක් දැල්වීමෙන් අඳුර නැසීමයි, ආලෝකය පැතිරීමයි දෙකම පෙර පසු නොවී සිදුවෙනවා වගේ කුසල ක්‍රියාවක යෙදෙන යෙදෙන වාරයක් ගානෙ හිතේ පහළ වෙනවා මේ අර්ථ දෙක. හිත පිරිසිදු කරන අර්ථයෙන් පින, හිතේ අකුසල අඳුර දුරු කරන අර්ථයෙන් කුසලය. මෙය පිනය, කුසලය කියලා අපේ බොහෝ දේශකයන් වහන්සේලා විවිධාකාරයෙන් විග්‍රහ කරනවා. ඒක නිකං නිෂ්ඵල විග්‍රහයක් බව අපට ඉතා හොඳින් පැහැදිලි වෙනවා. ඒ නිසා අපේ පින්වත් සෑම දෙනාම තේරුම් කරගනිමු අපි කරන සෑම යහපත් දේකදීම පිනයි කුසලයයි කියන අර්ථ දෙකම එකම කුසල් සිතේ සිද්ධ වෙන බව. ස්වාමීන් වහන්ස, පින්කමක් දැකලා පින් අනුමෝදන් කරගන්නේ කොහොමද? අනාථ පිණ්ඩික සිටුතුමා ජේතවනාරාමය පූජා කරල අවසානයේ දී පින් අනුමෝදන් කෙරෙව්වා. බුදුරජාණන් වහන්සේ විහාර දාන ආනිශංස දේශනාව කරන්න ඉස්සර ඒ සිටුතුමා පින් අනුමෝදන් කරලා තිබිලා තියෙනවා. ‘‘මා විසින් කළාට මේ පින සියලූ ලෝක සත්වයාට මට සේම ලැබේවා’’ කියල. ඒ අනුමෝදනාවට සවන් දීගෙන ඉන්න අතරේ බුද්ධ දේශනාව අහලා ඒකෙන් ඇති වුන බලවත් චිත්ත ප්‍රසාදයෙන් එක්තරා උපාසකතුමෙක් නිම්මානරතී දෙව්ලොව උපන්නා කියලා සඳහන් වෙනවා. නිම්මානරතිය තියෙන්නෙ තුසිතෙට ඉහළනේ. අනාථපිණ්ඩික සිටුතුමා ගියේ ඊට පහළින් තියෙන තුසිත දෙව්ලොවට. එතකොට පූජාව කරපු කෙනාටත් වඩා චිත්ත ප්‍රසාදයක් ඇතිකරගන්න පුලූවන් වුනා ඒක දැකල සතුටු වුන ඒ උපාසකතුමාට. අනුමෝදනාව කිව්වම ඒකේ අදහස හිත යොදන එකනේ. ඒකට ගැඹුරටම නුවණ මෙහෙයවන්න පුළුවන් නම් අනුන් කරන කුසලය අනුමෝදන් වෙලා විශේෂ ආනිශංස ලැබෙනවා. කය හා වචන සමහර විට සම්බන්ධ නෑ නමුත් සිත බලවත් වෙනවා එතැන දි. උපාලි සූත‍්‍රයේ බුදු රජාණන් වහන්සේ දේශනා කළා කාය කර්ම වචී කර්ම දෙකට වඩා බලගතුයි මනෝ කර්ම කියන කාරණය. එම අනුමෝදන් වීම වඩාත් හොඳින් සිදුකරගන්නෙ කොහොමද? ඒක ක්‍රම කිහිපයකින් පුළුවන්. ඒ කියන්නෙ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා මේ වගේ පින්කම් කරලා නිර්වාණය සාක්ෂාත් කරගත්තා. උන්වහන්සේලා ඒ පෙරුම්පුරන කාලයේ දී අනුන් කරන කුසලයත් බොහෝම සාදරයෙන් අනුමෝදන් වෙලා තියෙනවා. මමත් මේ කුසලය ඒ සේම අනුමෝදන් වෙමි. ඒ අනුමෝදන් වීමේ කුසලය මට නිවන් සුව පිණිස වේවා. ඒ වගේම නිවන දක්නා තුරුම භවයක් පාසා සුගතියේම, පතිරූප දේශයක, ත‍්‍රිහේතුක ප්‍රතිසන්ධිය, සම්මා දිට්ඨිය ඇතිව ශ්‍රද්ධාවෙන්, ශීලයෙන්, ශ්‍රැතයෙන්, ත්‍යාගයෙන්, ඤාණයෙන්, හිරියෙන්, ඔත්තප්පයෙන් යුතුව දාන, ශීල, භාවනා ආදී උසස් කුසල ධර්මයන් රැස් කරමින් අතොරක් නෑර නිවන් මග යන්න මේ කුසලය හේතු වේවා කියලා අනුමෝදන් වෙන්න පුලූවන්. ඒ වගේම ඒ කුසලය සිදුකරන තැනැත්තාට මෛත‍්‍රී කළ යුතුයි. මේ විදියේ කුසලයක් අප සියලූ දෙනාට අනුමෝදන් වෙන්න උපකාර කළ සත් පුරුෂයා නිදුක් වේවා, නීරෝගි වේවා, ආයුෂය, වර්ණ, සැප, බල, ඥාන වැඬේවා එතුමාටත් දෙලොව ජයගෙන සිතූ පැතූ බෝධියකින් නිවන් සැප ලබන්න හේතු වේවා කියලා මෛත‍්‍රී කළ යුත්තේ. ඊට පස්සෙ ත‍්‍රිලක්ෂණය මෙනෙහි කරන්න ඕනෑ. මේ සිදුකරන කුසලයට සම්බන්ධ අවිඥානික වස්තු සියල්ලම පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕජා රූප සමූහයක්. මේ සිදුකරන සෑම දෙනාගේම සන්තානත්, මගේ සන්තානයත් නාම, රූප, ස්කන්ධ, ආයතන, ධාතු, ඉන්ද්‍රිය, පටිච්ඡු සමුප්පාද ආදී වශයෙන් හේතු ඵල ධර්ම සම්භාරයක්. මේවත් ආධ්‍යාත්මික සන්තානයේ නාමරූපත් මේවත් ආධ්‍යාත්මික සන්තානයේ නාමරූපත් බාහිර වස්තු සම්බන්ධ රූප ධර්ම සියල්ලත් ක්ෂණයක් පාසා සිඳි සිඳී, බිඳි බිඳී, ඇති වෙමින් නැතිවෙමින් යන බැවින් අනිත්‍යයි. සිඳෙමින් බිඳෙමින් ඇතිවෙමින් නැතිවෙමින් යන බැවින් දුක්ඛයි, තමන් සම්මතයේ පවත්වන්න බැරි අසාර නිසා දුක්ඛයි, පිළිකුල් බැවින් අසුභයි, දුක්ඛ සත්‍යයි, සමුදය සත්‍යයයි, නිරෝධ සත්‍යයි, මාර්ග සත්‍යයි ආදී වශයෙන් මෙනෙහි කළ හැකියි. එතකොට ගැඹුරටම අර හිත වැඩකරනවා. සමථ වශයෙන් මෙනෙහි කළා, විපස්සනා වශයෙන් මෙනෙහි කළා. අනුමෝදනා කුසලයත් සිදුවුනා. ජේතවනාරාමය විනාශ වෙලා ගිය දෙයක් වුනත් අදටත් ඒ අවස්ථාව ගැන අහලා, කියවලා, හිතලා අනුමෝදන් කරගන්න පුළුවන්. අපේ බෝසතුන් වහන්සේ සසරදි කරපු දාන, ශීල, නෙක්ඛම්ම ආදිය අපි කියවනකොට බලවත් චිත්ත ප්‍රසාදයක් ඇති වෙනවා. ඒත් අනුමෝදන් වීමක් තමයි. ඒ අතීත කුසල කර්ම පවා තමන්ගේ සිතේ අනුමෝදන් වීමෙන් අභිනව කුසල සිත් ඇති කරගන්න පුලූවන්. ඒ නිසා බුදු රජාණන් වහන්සේගේ උපදෙස් තේරුම් කරගත්තම අපට හැම දෙයක්ම කුසලයක් බවට පත් කරගන්න පුලූවන්. ලාභ – අලාභ, නින්දා – ප්‍රශංසා, සැප – දුක්, යස – අයස මේ ඔක්කොම කුසල් සිත් පහළ කර ගැනීම සඳහා යොදා ගන්න පුලූවන්. පින් කිරීමට බිය විය යුතු ද? ‘‘පුඤ්ඤමෙව සො සික්බෙය්‍ය, ආයතග්ගං සුඛුද්‍රයං දානඤ්ච සමචරියඤ්ච, මෙත්තචිත්තඤ්ච භාවයෙ. එතෙ ධම්මෙ භාවයිත්වා, තයො සුඛසමුද්දයෙ අබ්‍යාපජ්ඣං සුඛං ලොකං, පණ්ඩිතො උපපජ්ජතී’ති’’ ශ්‍රද්ධාවන්ත පින්වතුනි, තුන්ලෝකාග්‍රවූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද මාපුඤ්ඤභායී සූත‍්‍රයයි මේ ගාථා දෙක. මාපුඤ්ඤභායී කියන්නෙ පිනට භය නොවේවා. මා කියන්නේ නොවේවා කියන තේරුම. මේ දේශනා පාඨය මෙහෙමයි. මා භික්ඛවේ පුඤ්ඤානං භායිත්ථ මහණෙනි පින්කම් වලට භය නොවෙත්වා. සුඛස්සේතං භික්ඛවේ අධිවචනං යධිදං පුඤ්ඤානි’ ති. මහණෙනි මේ පිනය, පිනය කියන්නේ සැපයට නමකි. පින කියන්නේ සැපයට නමක්, ඒ නිසා පිනට භය නොවෙත්වා කියන එකයි අනුශාසනය. ඒක ගාථා දෙකකින් ඉදිරිපත් කළා මෙහෙම. ‘‘පුඤ්ඤමෙව සො සික්බෙය්‍ය, ආයතග්ගං සුඛුද්‍රයං’’ මතු මත්තෙහි දිව්‍ය මනුෂ්‍යාදී සැප හා නිවන් සැප ගෙන දෙන පුණ්‍ය ධර්මයන් හා කුසල ධර්මයන් කළ යුතුයි. ‘‘දානඤ්ච සමචරියඤ්ච, මෙත්තචිත්තඤ්ච භාවයෙ’’ දන් දීම නැමති පරිත්‍යාගයත්, සමචරියාව නැමති ශීලවන්ත බවත්, මෙත්ත චිත්තං කියන මෛත‍්‍රී සිත සහිත භාවනාවත් කියන තුන වැඩිය යුතුයි, දියුණු කළ යුතුයි. ‘‘එතෙ ධම්මෙ භාවයිත්වා, තයො සුඛසමුද්දයෙ’’ මතු මත්තේ දිව්‍ය මනුෂ්‍ය, බ‍්‍රහ්ම සම්පත් හා නිවන් සම්පත් ගෙන එන මේ තුන් ආකාර කුසල ධර්මයන් රැස්කරගත් අය අබ්‍යාපජ්ඣං සුඛං ලොකං, පණ්ඩිතො උපපජ්ජති මෙලොව වශයෙනුත් ආයුරාරෝග්‍ය සැපත හා නිරෝගී සුව ඇති දිව්‍ය මානුෂ, බ්‍රරහ්මාදී සැපතත් සදාකාලික නිරෝගී සුවය වූ නිර්වාණ ධාතුවත් සාක්ෂාත් කරගන්නවා කියන එක මේ දේශනයෙහි සාරාංශයයි. පින්වතුනි, දානය කියන්නේ බුදු-පසේබුදු-මහරහතන් වහන්සේලා පුරුදු කරගෙන ආව පණ්ඩිතෝත්තමයන්, සත්පුරුෂෝත්තමයන් අනුගමනය කළ ශ්‍රේෂ්ඨ චාරිත‍්‍රයක්. අපේ මහා බෝසතාණන් වහන්සේ තරම් දානයේ පරිත්‍යාග කළ කෙනෙක් ලෝකයේ එවකට හිටියේ නෑ. ඉන්නව නම් මහා බෝසත්වරු පමණයි. මීට මහා කල්ප සාරාසංඛෙයිය ලක්ෂයකට ඉස්සර දඹදිව් තලයෙහි රන්මස කියන ගමෙහි උපන්නා සුමේධ කියා ඉතා වටිනා පුත්රුවනක්. මේ දරුවාගේ මවුපිය දෙන්නා හැඳින්වූයේ ආනන්ද බ‍්‍රාහ්මණතුමා සහ වසී කියන බ්‍රරාහ්මණතුමිය. මේ දෙන්නට ලැබුණ එකම දරුවා සුමේධ. උපන්න නැතක අනුවයි මේ නම තැබුවේ. බොහොම නැණවත් නැකතකින් ඉපදිලා තිබුණේ. මේ දරුවා තරුණ වියට පත්වෙනකොට එවකට පැවති ත‍්‍රි වේදය සහිත ශිල්ප ශාස්ත‍්‍ර පරතෙරටම ඉගෙන ගත්තා. ඉගෙනගෙන අවසාන වෙන කාලයෙහි මවුපියන් දෙන්නා අභාවයට ගියා. මවුපියන්ගේ ආදායම් පාලකතුමා අයපොත ගෙනල්ලා මෙතුමාට පිළිගැන්නුවා ‘‘ස්වාමීනි, මෙන්න ඔබ වහන්සේගේ මවුපිය මුතුන් මිත්තන් සතු දායාදය.’’ බැලූවාම විශාල ධනස්කන්ධයක් මේ මවුපිය මුතුන් මිත්තන් සතුව පැවතිලා තියෙනවා. රන්රුවන්, මුතු මැණික් වැනි සාර ධනය පිරිලා ඉතිරිලා තියෙන ගබඩාවල්ම දොළොස් දහසක්. ඉඩකඩම්, වතුපිටි, ගෙවල් දොරවල්, යාන වාහන, ඇතුන් අසුන් ගව මහීෂාදී සම්පත් මෙතෙකැයි කියලා පමණ කරන්න බැරි තරම් තියෙනවා. මේ මහා නැණවත් සුමේධ පණ්ඩිතයන් වහන්සේ කල්පනා කළා මේසා විශාල ධනස්කන්ධයක් මාගේ මවුපිය මුතුන් මිත්තෝ රැස් කරලා හිස් අතින් ගියා. මේවා ආරක්ෂණය කරමින් හිටියොත් මටත් වෙන්නෙ හිස් අතින් යන්නටයි. මගේ මවුපිය මුතුන් මිත්තන්ටත් හිතසුව පිණිස මම මේවා ගෙනියන්නට ඕනෑ. ගෙනියන්නේ කොහොමද? නිධානයක් කරන්නට ඕනෑ. නිධාන කරන්නේ කොහොමද? රටවැසි දුගී මගී යාචක, අනාථ නාථ ජනතාවට පරිත්‍යාග කරන්නට ඕනෑ. මේක තමයි පසුපස්සේ යන පුණ්‍ය නිධානය. අනුගාමික නිධානය. ඒ කියන්නේ පොළොවේ නිධන් කළා කියලා ගෙනියන්න බෑ. මේ ධනධාන්‍යාදිය තමන් යනව එක්ක යන්නෙ නෑ. ගෙනියන්න පුලූවන් එකම දේ තමයි මේ පරිත්‍යාග කිරීමෙන් ලැබෙන පුණ්‍ය නිධානය කියල. උන්වහන්සේ රටේ රජතුමාට දැනුම් දීලා රජතුමාගේ කැමැත්ත ලැබුණු බැවින් නගරයේ බෙර හසුරුවලා විශාල ධනස්කන්ධය දොරහැර දන් දුන්නා. දින හතක් බලාන හිටියා මේවා ගෙනියන හැටි. මහජනතාව ? දාවල් වේ ?නක් වගේ පේලි පේලි එනවා, කරත්ත බැඳගෙන එනවා, කත් බැඳගෙන එනවා, මලූ පෙට්ටි කුරුණි අරගෙන ඇවිත් මේවා පුරවගෙන පින් දිදී යනවා. දොර හැර දන්දෙන සුමේධ තාපසයන් වහන්සේ මතු බුදු වේවා කිය කියාම සෙත් පතමින් පින් පමුණුවමින් මේ ඇත්තෝ ? දාවල් ගෙනියනවා. හත් දවසක් බලාන හිටියා, ඉවරයක් නෑ. මහාජනයාට දැකගන්න ලෑලි පුවරුවක ලිව්වා ‘‘මා සතු සියලූ දේපළ මා පරිත්‍යාග කළා, කැමති අය කැමති සේ ගෙනියත්වා.’’ එහෙම කරලා පෙරහන් කඩක්වත් අතේ නැතිව තමන් ඇඳගත්ත ඇඳුම පමණක් ඇතිව වනගත වුනා. මේ වනගත වුනේ නිකං නෙවෙයි ජීවිතයෙන් උසස්ම අර්ථයක් නෙලා ගන්න. ඒ කියන්නේ ගිහි ජීවිතයේ ඉඳලා කරන්න දෙයක් දැන් උන්වහන්සේට නෑ. උන්වහන්සේට අවශ්‍ය වුනා බඹලොව යන්න. හැබැයි මේ බඹලොව යන එක නෙවෙයි පරමාර්ථය. උන්වහන්සේ කල්පනා කළා ‘‘ලෙඩක් ඇත්නම් නිරෝගී වෙන්න බෙහෙතකුත් තියෙන්න ඕනි. ගින්නක් ඇත්නම් නිවෙන ජලයකුත් තියෙන්න ඕනෑ. ඒ වගේම ඉපදීමක් ඇත්නම් ඉපදීම නැති තැනකුත් තියෙන්න ඕනෑ.’’ ආදී වශයෙන් කල්පනා කරලා උන්වහන්සේ පැවිදි වුනා අභිනිෂ්ක්‍රමණය කරලා, වනගත වෙලා. උන්වහන්සේට සුදුසු ආශ්‍රමයක් ද ලැබුණා. එක දවසක් පිටිසර ගම්මානය පිඩුසිගා වැළඳුවා. කල්පනා කළා ‘‘ඒකත් ප්‍රමාදයක්, මිනිස්සු සම්මුඛ වෙනකොට කතා කරන්න වෙනවා, ඊට වඩා හොඳයි මේ කැලෑවේ කොලයක් ගෙඩියක් අනුභව කරලා පැනක් පානයක් පානය කරලා භාවනා කිරීම’’ කියලා ගහක් මුලට වුනා. ගහක් මුල ඉඳගෙන දවස් හත ඇතුළත දී අෂ්ඨ සමාපත්ති සහිත අභිඥා පහම ඉපදෙව්වා මේ තත්වෙට පත්වෙන්න පුලූවන් වුනේ මක් නිසා ද අර ඒසා විශාල ධනස්කන්ධයෙන් හිත නිදහස් කරගත්ත නිසායි. දැන් උන්වහන්සේ බ‍්‍රහ්මයෙක් වාගේ. බ‍්‍රහ්මයෙකුට සමාන සිතේ සැපයක් දැන් වින්දනය කරනවා. ඔය අතර තමයි දීපංකර සර්වඥයන් වහන්සේ පහළ වුනේ. දැන් උන්වහන්සේගේ සන්තානයෙහි මේ කියන ‘‘දානඤ්ච සමචරියඤ්ච, මෙත්ත චිත්තඤ්ච භාවයෙ’’ කියන මහා පිංකම් තුනම හිතේ සම්පූර්ණයි. විශාල දානයක් දුන්නා, උතුම් ශීලයක පිහිටා දැන් මහණදම් පුරණවා, ඒ වගේම මෛත‍්‍රී, කරුණා, මුදිතා, උපේක්ඛා සහිත අනෙකුත් සමථ භාවනාවන්ගෙන් සම්පූර්ණව ඉන්නවා. ඊළඟට තමයි දීපංකර සර්වඥයන් වහන්සේ සම්මුඛ වූ දවසේ දි ජීවිත පරිත්‍යාගයෙන් යුතුව බුද්ධ පූජාවක් පවත්වා මතු ලොව්තුරා බුදුවන බවට විවරණ ලබා ගත්තේ. මේ අනුව සලකා බැලීමේ දී එදා පටන් මේ මහා බෝසතාණන් වහන්සේ ලොව්තුරා බුදුබවම පතමින් කළ දාන පරිත්‍යාගයට උපමා කරන්න ලෝකයේ වස්තුවක් නෑ. යටත් පිරිසෙයින් ඇස්, ඉස්, මස්, ලේ, අඹු-දරුවන් මේවා දන් දුන්න වාරවත් ගණන් කරන්න පුළුවන්කමක් නෑ. සඳහන් වෙනවා අහසේ තරු වලට වඩා ඇස් දන් දීලා තිබෙනවා. මහා පොළොවේ පසට වඩා ලොව්තුරා බුදුබව පතලා ශරීරයේ මාංශ දන් දීලා තියෙනවා. මහා සයුරේ ජලයට වඩා ලොව්තුරා බුදුබව පතා ලේ දන් දීලා තියෙනවා. මහමෙර උසට වඩා උස්වන තරම් ඔටුණු පැළඳි හිස් පවා දන් දීලා තිබෙනවා. මහමෙරට වඩා උස්වන තරම් දරුවන් බැඳ දුන්න වැල් එකතු කළා නම් දරුවන් දන් දීලා තියෙනවා. බිසවුන් දන් දීලා තියෙනවා. රාජ්‍ය දන් දීලා තියෙනවා. සුළුපටු කාලයක් නොවෙයි, මහා කල්ප අසංඛෙයිය හතරක් ඇතුළතදි. කල්ප ලක්ෂයක් ඇතුළතදිත් මේ විදියට දන්පින්කම් කරලා තියෙනවා. එතකොට මේ විදියෙන් උන්වහන්සේ පරිත්‍යාග කිරීමෙන් මොකද? භවයක් භවයක් පාසාම සැප වින්දා. සැප වින්දට ඒවයෙ ඇලූනේ නෑ බැඳුනේ නෑ. නෙළුම් මලකට, නෙළුම් පතකට වතුර වැටුනට ඒක වැටෙන්නෙ නෑ නේ, වැගිරී යනවනේ. ඒ වගේ උන්වහන්සේගේ එකම පැතුම ලොව්තුරා බුදුබව. ලොව්තුරා බුදුබවට පත් වීමෙන් ආඩම්බර කමක් නෙවෙයි උන්වහන්සේ බලාපොරොත්තු වන්නේ. තමන් වහන්සේ මෙන් ජාති, ජරා, මරණ, දුක් – දෝමනස්සයන්ගෙන් පෙළෙන අනන්ත අපරිමාණ සත්වයින් නිර්වාණය කරා පමුණුවනු පිණිසයි මේ ප්‍රාර්ථනාව. ඒක නිසා මහා බෝසතාණන් වහන්සේ මේ උත්තරීතර ගුණස්කන්ධයන් උතුම් ලෙස සම්පූර්ණ කළා. සීලය ගැන සඳහන් වන තැන් වල දී ජීවිතය පරිත්‍යාග කර ශීලය ආරක්ෂා කළ බෝසත් චරිතයන් ගැන බොහෝ සෙයින් සඳහන් වෙනවා. මෛත‍්‍රී භාවනා ගැනත් එහෙමයි. එක් කාලයක බෝසතුන් වහන්සේ ඒකරාජ නමින් රජ කෙනෙක්ව හිටියා. මේ රජතුමා පුදුම විදියට මෛත‍්‍රී වඩන කෙනෙක්. මේ රජ්ජුරුවන් පරම ධාර්මිෂ්ඨයි. එනිසා මැති ඇමතිවරු දහසක් දෙනා ධාර්මිෂ්ඨයි. රජතුමත් මැති ඇමතිවරුනුත් ධාර්මිෂ්ඨ බැවින් සිටුවරුද, ගම්පතිවරු ද, නගර වැසියෝ ද, ගම් වැසියෝද ඔක්කෝම ධාර්මිෂ්ඨයි. ඒ නිසා දෙවියෝ පැහැදිලා කලට වැහි වස්සවනවා. ගොවිතැන් සාරවත් වෙනවා. ඒ නිසා මනුෂ්‍යයො බොහොම නිරෝගී වනෙවා, දීර්ඝායුෂ වෙනවා. සමගි සම්පන්න වෙනවා. ඒ රටේ මිනී මැරුමක් නෑ. කෝලාහලයක් නෑ. ගෙවල් බිඳීමක් නෑ. මං පැහැරීමක් නෑ. වෙනත් වෙනත් මොනම අපරාධයක්වත් ඒ රටේ සිදුවෙන්නෙ නෑ. ඒ රට බොහොම ශාන්ත, බොහොම සශ්‍රික රටක්ව පැවතුනා. මේ මෛත‍්‍රී බලය. හැබැයි ඔය අතර මුං ඇට තම්බනකොට ඉදෙන්නෙ නැති, තැම්බෙන්නෙ නැති ඇට තියෙනවනේ යක් ඇට කියලා. ඒ වාගේ එක පුද්ගලයෙක් ඔතන ඉඳලා ඊළඟ රටකට ගිහිල්ලා බොරු කේලමක් කිව්වා. මේ ඒකරාජ රජ්ජුරුවන්ගේ රජදහන බොහෝම ලේසියෙන් අල්ලා ගන්න පුලූවන් ඒ රජ්ජුරුවො හරිම අහිංසකයි. මැස්සන් නැති මී වදයක් ගන්නවා වගේ ගන්න පුලූවන් කියලා ඒ ළඟක රජ කෙනෙක් උසිගන්වලා සේනා පිරිවරාගෙන ඇවිත් මේ රට වට කෙරුවා. ඒකරාජ රජතුමාගේ ඇමතිවරු ඇහුවා දේවයන් වහන්ස අපට අවසර දෙන්න. මැස්සෙක් බොන තරම්වත් ලෙයක් හොල්ලන්නෙ නැතිව මේ විරුද්ධ පක්ෂය කපුටො රැලක් එලවන්නා වගේ එළවලා දාන්නම් අපට අවසර දෙන්න. නෑ දරුවෙනි, රටක් නිසාවත් අනුන්ට හිංසා කරනවාට මම කැමති නැහැ. කැමති කෙනෙක් කැමති විදියට රට ගනිත්වා කියලා නිහඩ වුනා. විරුද්ධ රජ්ජුරුවො සපිරිවරින් ඇවිල්ලා මැති ඇමතිවරුන් සහිතව රජතුමා ජීවග්‍රහයෙන් අල්ලා ගත්තා. මේ අල්ලනකොටත්, වද දෙනකොටත් රජ්ජුරුවො මෛත‍්‍රියම වැඩුවා. මේ රජ්ජුරුවන්ට දුන්න වදය මොකක් ද? දෙපයින් බැඳලා බාල්කයේ එල්ලූවා. මේ එල්ලනකොටත් මෛත‍්‍රිය වැඩුවා. ඊළඟට විරුද්ධ රජ්ජුරුවො ඒකරාජ රජ්ජුරුවන්ගේ මාළිගාවට අධිගෘහිත වෙලා ඉන්න වෙලාවේ මේ ඒකරාජ රජතුමා අර එල්ලීගෙන මේ තරම් දුක් වේදනාවක් ජීවිතයේ කවදාවත් ලැබිලා නැතත් ඒ ගැන කිසිම කම්පාවක් නැතිව එකහෙළාම මෛත‍්‍රි වැඩුවා. මෛත‍්‍රී වඩලා වඩලා මෛත‍්‍රී ධ්‍යාන ඉපදුනා. කරුණා, මුදිතා, උපේක්ඛා ධ්‍යාන හතරම උපන්නා. ඊළඟට හැරුණා කසින භාවනාවට. කසින ධ්‍යාන ඉපදෙව්වා මේ එල්ලීගෙනම. එයින් අභිඥා බලත් පහළ වුනා. අභිඥා බලෙන් අධිෂ්ඨාන කළාම බැඳුම් ලෙහුණා, අහසේ බද්ධ පරියංකයෙන් වාඩි වුනා. මුරකරුවන් මේක දැකලා විරුද්ධ රජ්ජුරුවන්ට ගිහින් කිව්වා මෙන්න පුදුමයක් බලන්න එන්න කියලා. විරුද්ධ රජ්ජුරුවො දුවගෙන ඇවිල්ලා දිගාවෙලා වැන්දා. පුදුම විදියට බැගෑපත්ව සමාව ඉල්ලූවා ‘‘අනේ තමුන්නාන්සේගේ ගුණය නොදැනයි මං මේ අපරාධය කළේ. තමුන්නාන්සේට කළ අපරාධයට මට සමාව දීලා මේ සිංහාසනයට වඩිනු මැනව’’ කිව්වා. ඒකරාජ රජතුමා මහත් කරුණාවෙන් මෛත‍්‍රියෙන් කතා කළා. ‘‘රජතුමනි, මට මේ උතුම් සිංහාසනයක් මේ ලැබිලා තියෙන්නෙ. මීට වඩා උතුම් සිංහාසනයක් මට වැඩක් නෑ. තමුන්නාන්සේ මේ රාජ්‍යය හොඳින් බලාගන්න. මම මේ රට රාජ්‍යය කළේ පරම ධාර්මිෂ්ඨව. මේ රටේ ජනතාව මගේ දරුවන් හැටියට ආරක්ෂා කළා මෙතෙක් කල්. තමුන්නාන්සේත් ඒ වාගේ දසරාජ ධර්මයේ පිහිටලා නිති පන්සිල්, පෝය අටසිල් රකිමින් මැනවින් රාජ්‍යය කරලා සුගතියට යන්න’’ කියලා බණ දේශනා කරලා අහසින් හිමවත් පෙදෙසට වැඩියා. මේ මොන පුදුමයක් ද? මෛත‍්‍රි භාවනාවේ ආනිශංස නේ. මේ වාගේ එක ජාතියක නෙවෙයි පින්වතුනි, අනන්ත අපරිමාණ ජාති වල දි මොන තරම් බිහිසුනු විපත් වලට මුහුණ පෑවත් මෛත‍්‍රී වඩමින් මහා බෝසතාණන් වහන්සේ ජයග්‍රහණය කළ වාර අපමණයි. මේ වාගේ සිය ප්‍රත්‍යක්ෂ නුවණින් දැනගෙන ලොවට දේශනා කළේ තමන්ට හිතසුව පිණිස කැමති නම් මේ කියන දාන, ශීල, මෛත‍්‍රී භාවනා වැනි කුසල ධර්මයන් පිරීමේ අප්‍රමාද වෙත්වා කියලයි. මේ දානාදී පින්කම් කරන්නේ තාවකාලික සුවයක් පිණිස නෙවෙයි බෞද්ධයො. අපි දන්නවා මේ දානාදී කුසල කිරීම් පමණකින් දෙව්ලොවට යන්න පුළුවන්. ඈත අතීතයේ ගුත්තිල ජාතකයේ සඳහන් වෙනවා නෙල්ලි ගෙඩියක් දන් දීලත් දෙව්ලොවට ගියා. පලා මිටක් දන් දීලත් දෙව්ලොවට ගියා. පැන් වීදුරුවක් දන් දීලත් දෙව්ලොවට ගියා. දැහැටි කඩක් දන් දීලත් දෙව්ලොවට ගියා. ඔය තරම් සුළු පූජාවක් කළත් දෙව්ලොවට යන්න පුලූවන්. ඒක සුළු දෙයක්. ඒකෙ ඇති වැඩක් නෑ. ටික කාලයක් එහෙ ඉඳලා ආයෙමත් එනවා මේ පාතාලෙට. අජරාමර වීමක් එහෙ ඇත්තේ නැහැ. බුද්ධෝත්පාද කාලයක කරන පින්කමේ පරමාර්ථය වෙනස් නොවන සදාකාලික සුවය අත්පත් කරගැනීමයි. එනම් අමාමහ නිවන් සුවයයි. ඒ අමාමහ නිවන් සුවය සාදා ගැනීම පිණිසයි බුද්ධ ශාසනයක් අපට අවශ්‍ය වන්නේ. බුද්ධ ශාසනයක දානෙ දෙන්නෙ, සිල් සමාදන් වෙන්නේ, භාවනා කරන්නේ, බණ අහන්නේ, බණ කියන්නේ, දස පුණ්‍ය ක්‍රියාවන් පුරන්නේ දිව්‍ය ලෝකයේ රැඳෙන්න නෙවෙයි. බඹ ලොව රැදෙන්න නෙවෙයි. මනුලොව රජවෙන්න නෙවෙයි. ඒවා හිතනවා පතනවා නම් ඒවා දුක්ඛ සත්‍යයක්. දෙව්ලොව කියන්නෙත් දුක්ඛ සත්‍යයක්. බඹලොව කියන්නෙත් දුක්ඛ සත්‍යයක්. මොකද දුක්ඛ සත්‍යය කියන්නේ පංච උපාදානස්කන්ධයක් නේ. ‘‘සංඛිත්තේන පංචූපාදානක්ඛන්ධා දුක්ඛා’’ කියලා ආර්ය සත්‍ය දේශනාවෙ ධම්මචක්කපවත්තන සූත‍්‍රයේ දේශනා කරලා තියෙනවානේ. කොතන හරි පංච උපාදානස්කන්ධයෙන් එකක් හරි, පහම හරි, හතරක් හරි තියෙනව නම් ඒක දුක්ඛ සත්‍යයක්. එතකොට ඒ තැන් ගැන හිතීම පැතීම දුක්ඛ සත්‍යය පැතීමක්. ඒකෙන් නිවනක් සිදුවන්නේ නෑ. ඒ නිසා සර්වඥයන් වහන්සේ දේශනා කළේ නිරෝධ සත්‍යය සඳහා කුසල් කටයුතුයි කියලා. නිරෝධ සත්‍යය කියන්නේ පංච උපාදානස්කන්ධයෙන් තොර වූ සදාකාලික සුවය වූ අමාමහ නිවන් සුවයයි. බුදු-පසේබුදු-මහාරහතන් වහන්සේලා සාරාසංඛ්‍ය කල්ප ලක්ෂ ගණන් සොළොසාසංඛ්‍ය කල්ප ලක්ෂ ගණන්, විසි අසංඛ්‍ය කල්ප ලක්ෂ ගණන් තිස්සේ දානාදී පාරමී ගුණ පුරලා ලොව්තුරා බුදු වුනා, පසේ බුදු වුනා, රහත් වුනා. උන්වහන්සේලාට දැන් පංච උපාදානස්කන්ධයක් නැති නිසා වෙනස් නොවෙන සුවයට පත් වී සිටිනවා. හැබැයි ආශ්වාදයක් එහි ඇත්තේ නෑ. එතන සදාකාලික නිවීමයි තියෙන්නේ. මෙන්න මේ තත්ත්වය තමයි බුද්ධෝත්පාද කාලයක බලාපොරොත්තු විය යුතු වන්නේ. තෙරුවන් සරණයි.!!!!