කළයුතු නොකළ යුතු කථා
අංගුත්තර නිකායේ තික නිපාතයේ සඳහන් “ගුථභාණි සූත්‍රය” බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ කැමැත්තෙන්ම භික්ෂූන් වහන්සේ රැස්කරවා දේශනා කරනු ලැබූ සූත්‍ර ධර්මයක්.
මහණෙනි,,,
මේ ලෝකයේ පුද්ගලයන් වර්ග තුනක් දක්නට ලැබෙනවා.
ඔබ වහන්සේලා එම වර්ග තුන මොනවාද කියලා දන්නවාද?
එම තුන් වර්ගය තමයි
ගුථ භාණි,
ප්‍රවිථ භාණි,
මධු භාණි
යනුවෙන් හඳුන්වන්නේ.
ගුථ භාණී ,
පුෂ්පභාණී,
මධු භාණී
වචන තුනම එකම ආකාර නිසාම මතක තබාගැනීමත් හරිම පහසුයි.
ඒවගේම භාණී යන වචනය වචන තුනටම සමානව යෙදී තිබේ.
“භාසතී” කියලා පාලි භාෂාවේ සඳහන් වන්නේ “කියයි” යන තේරුම සඳහා වෙයි.
“භාණි” කියල කියන්නේත්, “කියන්න” යන තේරුම වේ.
පිරිමි කෙනකු නම් කියන්නා වන අතර ගැහැනු කෙනකු නම් කියන්නි වෙයි.
හාමුදුරු නමක් නම් දෙසන ස්වාමීන් වහන්සේ කියනවා කියන වචනය සඳහාම තමයි කථා කරනවා කියල කියන්නේ.
පුද්ගලයකු හෝ කෙනකු කථා කරනවා නම් එය කථා කරන්නේ කොතැනින්ද?
කථා කරන්නේ කටින් නම් ,
ඇත්තටම කථා කරන්නේ කටින් විතරමද?
ඇස්වලින්, මුහුණෙන්, අතින් කොතරම් කතා කරනවාද?
තමාගේ ඔළුවේ මතුවන මුල් අදහස බාහිර සමාජයට බැහැර කරනු ලබයි.
තම අදහස සමාජයට දෙනවා වාගේම තමන් සමාජයට දෙන දෙයම පෙරළා තමන්ට ලැබෙයි.
තම අදහස සමාජ ගත කරන එකයි කථා කරනවා යනුවෙන් හඳුන්වනු ලබන්නේ.
කථා කිරීමේ මූලිකයා කට වෙයි.
නමුත් අන්‍ය ආකාරයකට සිය අදහස් අන්‍ය අයට දෙනවා නම් ඒක කථා කිරීම හැටියට හැඳින්විය හැකියි.
ලියල දීමත් එක්තරා ආකාරයක කථා කිරීමක් වෙයි.
එය අදහස් අතර ගනුදෙනුවක් වෙයි.
බුදුරජාණන් වහන්සේ විමසනවා
මහණෙනි,,
ඔය ඇත්තෝ දන්නවාද ගුථ භාණි පුද්ගලයාගේ හැටි කියලා.
ඒ කියන්නේ ඔහුගේ හැටිම නොවෙයි.
ඔහුගේ කටේ හැටියි.
ගුථභාණී, පුද්ගලයා නිවැරැදිව හඳුනාගන්න පුළුවන් වෙන්නේ.
ඔහු කථා කරන දෙයට සවන් දීම තුළයි.
ගුථභාණී පුද්ගලයා කථාකරන විට සිතන්නේ තමා පිළිබඳව පමණයි.
තමන්ට ලැබෙන ලාභය,
තමන්ගේ තත්වය,
උජාරුව
පුළුවන්කාර කම
ලොකුකම ,
ආත්ම වර්ණනාව,
තමන්ට යමක් ලැබෙනවා නම්
එහෙම වෙන්නේ
මොනවා හරි කිව්වහම ඔහු ඒ දෙය කියනවා.
තමන්ගේ වාසිය පතා දැක්ක දෙය දැක්කේ නැහැ කියයි.
දන්න දෙය වුවත් දන්නේ නැහැ කියයි.
තමා දන්නා නැති දෙය වෙනුවෙන් තමා දන්නා බව අඟවමින් ඒ වෙනුවෙන් පෙනී සිටී.
තමන්ගේ ලාභය,
වාසිය,
කීර්තිය,
එහෙමත් නැත්නම් තමන්ට කන්න බොන්න ලැබෙන දෙයක් වෙනුවෙන් අසත්‍ය තොරතුරු සමාජයට සන්නිවේදනය කරයි.
සමාජයේ ඇතැම් අය එය අසත්‍ය බව නොදැන සත්‍ය ලෙස සිතා රැවටී නොමග යයි.
බුදුරජාණන් වහන්සේ විමසනවා
මහණෙනි, ඔය ඇත්තො දන්නවාද “පුෂ්ප භාණී” පුද්ගලයාගේ හැටි කියලා ඒ කියන්නේ ඔහුගේ කටේ හැටියි.
“පුෂ්පභාණී” කියලා කියන්නේ මල් සේ මනහර කථා ඇත්තෝ කියන එකයි.
එම පුද්ගලයා යහපත් පුද්ගලයෙක් වෙයි.
ඔහු කවදාවත් තමා දන්නේ නැති දෙයක් පිළිබඳව කථා නොකරයි.
ඔහු කථා කරනවාට වඩා ඒ පිළිබඳව හොඳට සිතින් කල්පනා කරනු ලබයි.
”ගුථ භාණී” පුද්ගලයා හැරුණු හැරුණු පැත්තට වචන හරවා හරවා කථා කරයි.
ඔහුගේ කට නගර සභාවේ ටැප් වගෙයි.
එහෙත් “පුෂ්පභාණී” පුද්ගලයා එසේ නොවන අතර ඔහු කථා කරනවාට වඩා වැඩියෙන් යමක් කල්පනා කරනු ලබයි.
කිය යුතු දෙය නිවැරැදිව කියන්නට පෙර පෙළ ගස්වා ගනියි.
සෑම තැනකදීම කේන්ති නොගෙන ඉතාමත්ම සැලසුම් සහගත ආකාරයට කිවයුතු දෙය නිවැරැදිව කියයි.
තවත් පුද්ගලයකු සමඟ කථා කරන විට තමා දන්නා දෙය පිළිබඳව.
දන්නා බව ප්‍රකාශ කරන ඔහු නොදන්නා දෙය පිළිබඳව නොදන්නා බවට ප්‍රකාශ කරයි.
දුටුව දෙය දුටු බවටත්
නොදුටු දෙය නොදුටු බවටත් ප්‍රකාශ කරයි.
තමන්ට ලැබෙන ලාභය වාසිය තකා දුටු දෙය නුදුටු ලෙස ගුථභාණී පුද්ගලයා මෙන් කියන්නේ නැත.
සිය කටින් ඔහු සමාජයට දෙනු ලබන්නේ තමන් නිවැරැදිවම දන්නා සත්‍යය පමණි.
එම නිසාම ඔහු යහපත් පුද්ගලයකු ලෙස දක්වයි.
සමාජයේ ජීවත්වන මෙම පුද්ගල වර්ග දෙක තුළ ඇතැම් විට ඔබ දන්නා කියන අයත් මේ ගොඩවල් වල ඇත .
ඔබත් එම ගොඩේම අයකු ද විය හැකියි.
කාගෙත් කට එක වුවද කෙනකු එය පාවිච්චි කරන්නේ එක අරුතකින් වෙනත් කෙනකු වෙනත් අරුතකිනි.
බුදුරජාණන් වහන්සේ විමසනවා
මහණෙනි, ඔය ඇත්තෝ දන්නවාද “මධුභාණි’ පුද්ගලයාගේ හැටි කියලා.
මධුභාණී පුද්ගලයා තැනක කථා කරන්න ගිය විට අනෙක් පුද්ගලයන් දෙදෙනාටම වඩා වෙනස් පුද්ගලයකු වෙයි.
එක්කෙනෙක් තම ලාභය පිණිස සමාජයට අසත්‍යය ලබාදෙයි.
අනෙක් පුද්ගලයා කිසිදු ලාභ අපේක්ෂාවෙන් තොරව තමන් දන්නා නිවැරැදි දෙය එකහෙළා ප්‍රකාශ කරයි.
මධුභාණි පුද්ගලයා කථා කරන වචන හරිම සියුම්.
ඔහු තැනක කථා කරන විට කථා කරන්නේ එතැනට උචිත අවශ්‍ය දෙය පමණයි.
අසන්නන්ට ඔහු දැනුම වැඩියෙන් ලබාදෙයි.
සත්‍ය කරුණු වුවද එය නොකියන අවස්ථා ඇත.
අවශ්‍ය නම් පමණක් කථා කරන ඔහු අනවශ්‍ය නම් ඔහු නිහඬව සිටියි.
ඔහු කථා කරන වචනවලින් කිසිවෙකුට චිත්ත පීඩාවක් හෝ වෙනවාට ඔහු කැමති නැත.
සමාජයේ පුද්ගලයන් දැනගත යුතු දැනුම පමණක් සමාජයට ලබාදෙයි.
තමන්ගේ හෘද සාක්ෂියට එකඟව අවශ්‍ය දෙය ප්‍රකාශ කරයි.
හෘදයාංගම සමාජ හිතකාමී වචන කථා කරන පුද්ගලයකු වෙයි.
මධුභාණී පුද්ගලයන් සමාජයක දක්නට ලැබෙන්නේ අඩු වශයෙනි.
ඔවුන් විශිෂ්ට පුද්ගලයන් ලෙසට අර්ථ දක්වා ඇත.
තමා කියන දෙය සත්‍ය වුවද එම ප්‍රකාශය මගින් සමාජයේ පිරිසකට අසාධාරණයක් වෙනවා නම්, එය කාටවත් හානියක් නොවන ලෙස ප්‍රකාශ කරන්නේ කොහොමද කියලා මධුභාණී පුද්ගලයා කල්පනා කරයි.
මිනිසා වචන කථා කරනවා කියලා කියන්නේ පොදු සමාජයට වචන දෙනවා කියලා කියන එකයි.
තම තමාගේ වචනයක් එහෙම වුණාට පොදු සමාජයට යමක් දෙන විට හොඳම ආකාරයට දිය යුතුය කියන අදහස බුදුදහම තුළ ගැබ්ව පවතියි.
හොඳම දෙයට දිය යුතු වන්නේ තමාට පෙරළා ලැබෙන්නේ තමා දුන්නු දෙයම වන නිසයි.
වචනයක් කථා කරන විට හොඳට විමසල හිතලා බලන්නේ නැතිව කථා කරන්න හොඳ නැහැ.
වචනයක් වැරදුනහොත් ඒක ඇතුන් ලවා වත් අද්දවන්න බැහැ කියලා සමාජයේ තියෙන අදහස අප කවුරුත් දන්නා කරුණක්.
සිය අදහස සමාජයට සන්නිවේදනය කරන විට වඩාත් සැලකිලිමත් වෙන්න අවශ්‍යයි.
හිතේ තරහව, වෛරය, තියාගෙන වචන කථා කරන්න හොඳ නැහැ.
එම අවස්ථාවලදි අයහපත් දෙයම සමාජගත විය හැකියි.
තරහ ගිය අවස්ථාවලදී කථා කිරීම නතර කළ යුතුයි.
ඇතැම් වචන තොල අගට ආවත් එය පිට නොකර ගිලගත යුතුවෙයි.
එලියට නොදැමිය යුතුයි.
වචනයක් කථා කරන විට හොඳට හිතා විමසා බලා එය කළ යුතුයි.
උතුම් මිනිසුන් වචන කතා කරනවාට වඩා සිතනවා.
සමාජයට යන අසන්නාට වරදක් නොවන දෙයක් සමාජයට ප්‍රකාශ කිරීම මිනිසා සතු යුතුකමක් නමුත් එය කළ යුතු වන්නේ නිවැරදි කල්පනාවෙනි.
කථාව,
කථාකරන ශෛලිය,
කථාවෙ අන්තර්ගත වන කරුණු ආදිය පුද්ගල පෞරුෂය මනින සාධක,
"උගෙ කට බෝක්කු කටක්,
පඩික්කමක්"
ආදි ලෙස සමාජයේ කියන්නේ ඒ ඒ පුද්ගලයන්ගේ වචනවල අදහස සැලකිල්ලට අරගෙනයි .
වචන කතා කිරීම හොඳ වුවද අර්ථවත් වචන කථා කිරීම වැදගත් වෙයි.
සමාජයට වටිනා අදහස් තිළිණ කළ හැකි පුද්ගලයා උතුම් පුද්ගලයකු වෙයි.
හැම වචනයකටම අදහස් නැහැ.
අදහස් නම් ඒ සඳහා වචන අවශ්‍යයයි.
ඒ වුණත් හැම වචනයකම යහපත් අදහස් නැහැ.
සමාජයට දිය යුත්තේ යහපත් අදහස් පෙරළා සමාජයෙන් තමන්ට අයහපත් දෙයක් ලැබුණත් තමා සමාජයට දිය යුතු වන්නේ යහපත් දෙයමයි.
එය මිනිසාගේ යුතුකම වෙයි.
ඒ උතුම් යුතුකම දරන්නේ නැති මිනිසුන්ගේ කටවල් ගුථභාණි කටවල් ලෙස හඳුන්වයි.
වචනයක් කථා කිරීම පහසු වුවද තොල්වලින් එළියට දැමීමට පෙර තමා කියන වචනය පිළිබඳව තුන් වතාවක් සිතිය යුතු බව බුදු දහමෙහි උගන්වා ඇත.
ඒ තුන් වතාව කොපමණ කාල පරිච්ඡේදයක් අතරද කියලා දන්වලා නැහැ.
ඇතැමුන් අවුරුදු ගණන් හිතලා ඒවා සැලසුම් කරලා තමයි වචන කථා කරන්නේ.
වචන පිළිබඳව ඒ තරම් ප්‍රවේශම් වෙන්න ඕනෙ වචනයක් කථා කරන විට පෙරහන් කඩ හතරකින් පෙරන්න කියලා.
බුදු දහමෙහි දක්වා ඇත.
ඒ කියන්නේ බොරුවක් නොවීම,
කේලමක් නොවීම,
පරුෂ වචනයක් නොවීම,
හිස් වචනයන් නොවීම
ආදිය එම පෙරහන් කඩ හතර වෙයි.
මිනිසකුගේ උස් පහත් බව මැනීම සදහාත් වචනය අවශ්‍ය වෙනවා.
පෞරුෂ මැනීමේදීත් ඒ වගේ ඇතැම් වෙලාවක වචන කතා කිරීම හොඳයි.
ඇතැම් විටෙක නිහඬව සිටීමත් සුදුසුයි.
නිහඬ විය යුතු තැන කථා කිරීමත් කථා කළ යුතු තැන නිහඩ වීමත් දෙකම වැරැදියි.
කථා නොකළ යුතු තැන තැන නිවැරැදිව වටහා ගැනීමත් එතැන කුණ්හී භාවයත් සුදුසුයි.
" නත්ථි පුත්ත සමං පේමං " - පුත්‍ර ප්‍රේමය හා සම ප්‍රේමයක් නැත
( ස. නි.1 නත්ථිපුත්ත සූත්‍රය )